3. 5. 3.
3. සංඝාටිකණ්ණ සූත්රය
92. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. අරහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
1. මහණෙනි, ඉදින් මහණතෙමේ (මාගේ) සඟළ සිවුරුකොණ අල්වාගෙන පිටිපසින් පිටිපසින් (මාගේ) පාතැබූතැන (ඔහුගේ) පාතබමින් මා අනුව යන්නෙක් වන්නේද ඒ මහණතෙමේද විෂම ලෝභය බොහෝකොට ඇත්තේවේද, වස්තුකාම ක්ලේශ කාමයන්හි දැඩි ඇලුම් ඇත්තේවේද, ක්රොධවශයෙන් විකාරයට පැමිණි සිත් ඇත්තේවේද, ප්රදූෂ්යසිත් ඇත්තේවේද, මුළාවූ සිහිය ඇත්තේවේද, සම්යක් ප්රඥාව නැත්තේවේද, එකඟ නොවූ සිත් ඇත්තේවේද භ්රාන්තවූ සිත් ඇත්තේවේද, සංවර නොවූ ඉඳුරන් ඇත්තේවේද, එසේවුවද ඒ මහණ තෙමේ, මා කියනලද පිළිවෙත නොපුරන්නේ මා කෙරෙන් දුරෙහිමවේ, මමද ඔහුගෙන් දුරෙහිම වේ. ඊට හේතු කවරේද? මහණෙනි, යම්හෙයකින් ඒ මහණතෙමේ නොදකීද, ධර්මය නොදක්නේ මා නොදකීද,
මහණෙනි, ඉදින් ඒ මහණතෙමේ යොදුන් සියයක් සීයක් යොදුන් මත්තෙහි වසන්නේද, ඒ මහණ තෙමේ වනාහි විෂම ලෝභය බහුලව නැත්තේවේද, වස්තුකාම ක්ලෙශකාමයන්හි දැඩි ඇලුම් නැත්තේවේද, (ක්රෝධයෙන්) විකාරයට පැමිණි සිත් නැත්තේ වේද ප්රදූෂ්යසිත් නැත්තේවේද එළඹ සිටි සිහිය ඇත්තේවේද මනානුවණ ඇත්තේවේද, සමාධියෙන් යුක්තවූයේවේද එකඟ සිත් ඇත්තේවේද වැසුණු ඉඳුරන් ඇත්තේවේද, එසේවූ දුරසිටි හෙතෙම මාගේ සමීපයෙහිමවේ. මමද ඔහුගේ සමීපයෙහි වෙමි, ඊට හේතු කවරේද, මහණෙනි, යම්හෙයකින් ඒ මහණ තෙමේ ධර්මය බලාද, ධර්මය බලන්නේ මා බලාද (එහෙයිනියි)”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “ඉදින් මහත් ආශාව ඇත්තාවූ ක්රෝධය ඇත්තාවූ, තෘෂ්ණාවට දාසයෙකු වැනිව අනුව යන්නාවූ නොනිවියාවූ තෘෂ්ණාව නැත්තාවූ කෙලෙස් පිරිනිවියාවූ (බුදුන් වහන්සේට) ලුහුබඳින්නේ වන්නේද,
3. “ගිජුවූ ඒ පුද්ගලතෙම පහවූ තෘෂ්ණාව ඇත්තාවූ (බුදුන් වහන්සේට යම්පමණ දුරෙහිවේද, එයබලව, පණ්ඩිතවූ ඒ මහණතෙමේද (චතුස්සත්ය) ධර්මය දැන සුළං නැතිතන්හි විලක්සේ තෘෂ්ණාව නැත්තේ සංසිඳෙයි.
4. “තෘෂ්ණාව නැත්තාවූ කෙලෙස් පිරිනිවියාවූ ඒ මහණතෙමේ පහවූ තෘෂ්ණාව ඇත්තාවූ බුදුන් වහන්සේට (ධර්මය ස්වභාවයෙන්) සමීපයෙහිවූයේ යම් පමණද, (එය) බලවයි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි මාගේ ඇසීමවේ.
3. 5. 4.
4. අග්ගිත්තය සූත්රය
93. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. අරහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
1. මහණෙනි, මේ ගිනි තුණක් වෙත්, කවර තුනක්දයත්, රාග නමැති ගින්නය, ද්වේෂ නමැති ගින්නය, මෝහ නමැති ගින්නය (යන තුනය.) මහණෙනි, මේ වනාහි තුන් ගිනි වෙති.
භාග්යවතුන් වහන්සේ මේ අර්ථය වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “රාග නමැති ගින්න මිථ්යාචාරයට පැමිණියාවූ ඇලුනාවූ සත්වයන් දවයි, ද්වේෂ නමැති ගින්න වනාහි විකාරයට පැමිණිසිත් ඇත්තාවූ ප්රාණඝාත කරන සුලුවූ සත්වයන් (දවයි)
3. මෝහ නමැති ගින්න වනාහි ආර්ය ධර්මයෙහි දක්ෂ නොවූ අතිශයින් මුළාවූ (සත්වයන් දවයි.) මේ තුන් ගිනි නොදන්නාවූ සත්වයෝ උපාදානස්කන්ධ පඤ්චකයෙහි ඇලුනාහුය.
4. “ඒ සත්වයෝ සියලු නරකයද තිරිසන් යෝනියද අසුරනිකායද ප්රෙතවිෂයයද වඩත්, (ඔව්හු) ක්ලේශ බන්ධනයෙන් නොමිදුනාහුය,
5. යම්කෙනෙක් වනාහි රෑ දාවල් දෙක්හි සම්යක් සම්බුදුන්වහන්සේගේ අනුශාසනයෙහි යෙදුනාහුද, නිතර අශුභය යන සංඥාව ඇත්තාවූ ඒ යොගීහු රාග නමැති ගින්න නිවයි.