3. 4. 8.
8. අන්ධකරණ සූත්‍රය
මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
“මහණෙනි, අඳුරු කරන්නාවූ නුවණැස වසන්නාවූ නොදැනීම කරන්නාවූ ප්‍රඥා නොපැවැත්ම කරන්නාවූ දුක් පක්ෂයෙහි පවත්නාවූ නිර්වාණයට නොපවත්නාවූ මේ තුන් අකුශල විතර්ක කෙනෙක් වෙති. කවර තුනෙක්දයත්?
මහණෙනි, කාම ප්‍රතිසංයුක්ත විතර්කය ඇඳිරිය කරන්නේය. නුවණැස වසන්නේය. නොදැනීම කරන්නේය. ප්‍රඥාව නිරුද්ධ කරන්නේය. දුක් නම් පීඩා පක්ෂයෙහි පවත්නේය. (ක්ලේශ) නිර්වාණය පිණිස නොපවත්නේය. මහණෙනි, ක්‍රෝධය පිළිබඳ කල්පනාව අඳුරු කරන්නේය. නුවණැස වසන්නේය, නොදැනීම කරන්නේය. ප්‍රඥාව නොපැවැත්ම කරන්නේය. දුක් පක්ෂයෙහි පවත්නේය. (ක්ලේශ) නිර්වාණය පිණිස නොපවත්නේය. මහණෙනි, විහිංසා විතර්කය (වෙහෙසකිරීම පිළිබඳ කල්පනාව) අඳුරු කරන්නේය. නුවණැස වසන්නේය. නොදැනීම කරන්නේය. ප්‍රඥාව නොපැවැත්ම කරන්නේය. දුක් පක්ෂයෙහි පවත්නේය. (ක්ලේශ) නිර්වාණය පිණිස නොපවත්නේය.
අඳුරු කරන්නාවූ නුවණැස වසන්නාවූ නොදැනීමකරන්නාවූ ප්‍රඥාව නොපැවැත්ම කරන්නාවූ දුක් පක්ෂයෙහි පවත්නාවූ (ක්ලේශ) නිර්වාණය පිණිස නොපවත්නාවූ මේ වනාහි තුන් අකුශල විතර්කයෝ වෙත්.
“මහණෙනි, අන්ධ නොකරන්නාවූ නුවණ ඇස ඇති කරන්නාවූ දැනීම කරන්නාවූ ප්‍රඥාවගේ වැඩීම කරන්නාවූ දුක් පක්ෂයෙහි නොපවත්නාවූ (ක්ලේශ) නිර්වාණය පිණිස පවත්නාවූ මේ තුන් කුශල විතර්ක කෙනෙක් වෙති. කවර තුන් විතර්කයෝද යත්?
මහණෙනි, නිවන් පිළිබඳ කල්පනාව අන්ධ නොකරන්නේය. නුවණැස ඇති කරන්නේය. දැනීම් කරන්නේය. ප්‍රඥාවෘද්ධිය කරන්නේය. දුක් පක්ෂයෙහි පවත්නේය. නිවණ පිණිස පවත්නේය. “මහණෙනි, මෛත්‍රිය පිළිබඳ කල්පනාම ඇඳිරිය නොකරන්නේය. නුවණැස ඇතිකරන්නේය. දැනීම කරන්නේය. ප්‍රඥාවගේ වැඩීම කරන්නේය. දුක් පක්ෂයෙහි නොපවත්නේය. නිවන් පිණිස පවත්නේය. “මහණෙනි, කරුණාව පිළිබඳ කල්පනා අඳුරු නොකරන්නේය. නුවණැස ඇතිකරන්නේය. දැනීම කරන්නේය. ප්‍රඥාවගේ වැඩීම කරන්නේය. දුක් පක්ෂයෙහි පවත්නේය. නිවන් පිණිස පවත්නේය.
මහණෙනි, මේ තුන් කුශල විතර්කයෝ වනාහි අන්ධ නොකරන්නාහුය. නුවණැස ඇතිකරන්නාහුය. දැනීම කරන්නාහුය. ප්‍රඥාවෘද්ධිය කරන්නාහුය. දුක් පක්ෂයෙහි පවත්නාහුය නිවන් පිණිස පවත්නාහුයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“තුන් කුශල විතර්කයන් කල්පනා කරන්නේය, තුන් අකුශල විතර්කයන් දුරුකරන්නේය. හාත්පසින් නැංගාවූ ධූලි මහා අකාල මේඝය සර්වප්‍රකාරයෙන් සංසිඳුවන්නාසේ ඒ මහණතෙමේ ඒකාන්තයෙන් (මිථ්‍යා විතර්කයන්ද ඒ විතර්කයන් හා එක්ව යෙදුනාවූ විචාරයන්ද සහමුලින් නසයි. ඒ මහණතෙමේ ඒකාන්තයෙන් මේ භවයෙහිම නිර්වාණ පදයට පැමිණියේ යයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. යයි මා විසින් අසන ලදී.
3. 4. 9.
9. අන්තරාමල සූත්‍රය
මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
“මහණෙනි, විරුද්ධ හෙයින් සිතට අමිතුරුවූ සිතට මිතුරුවූ සිතට හිංසනය කරන්නාවූ සිතට පසමිතුරුවූ මේ සිතෙහි මල තුනෙක් වෙත්, කවර තුනෙක්දයත්?
“මහණෙනි, ලෝභයතෙම සිත කෙලෙසන මලයක, සිතට අමිතුරෙක, සිතට සතුරෙක, සිත පෙළන්නෙක, හිතට පසමිතුරෙක, මහණෙනි, ද්වේෂය තෙම සිත කෙලෙසන මලයෙක, සිතට අමිත්‍රයෙක, සිතට සතුරෙක, සිත පෙළන්නෙක, සිතට පසමිතුරෙක, මහණෙනි, මෝහය සිත කෙලෙසන මලයෙක, සිතට අමිතුරෙක සිත පෙලන්නෙක. සිතට පසමිතුරෙක.
මහණෙනි, මේ තුන් ධර්මයෝ වනාහි සිත කෙලෙසන මලයෝය. සිතට අමිතුරෝය. සිතට සතුරෝය. සිතට හිංසා කරන්නෝය සිතට පසමිතුරෝ යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“ලෝභයතෙම (තමහටද පරහටද) අවැඩ උපදවන්නේය. ලෝභය සිත කලඹන්නේය. සිතෙහිම උපන් ලෝභය බියට හේතුයයි ජනතෙමේ නොදනී.
3. ලුද්ධො අත්ථං න ජානාති ලුද්ධො ධම්මං න පස්සති,
අන්ධන්තමං තදා හොති යං ලොභො සහතෙ නරං.