3. 4. 9.
9. අන්තරාමල සූත්‍රය
මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
“මහණෙනි, විරුද්ධ හෙයින් සිතට අමිතුරුවූ සිතට මිතුරුවූ සිතට හිංසනය කරන්නාවූ සිතට පසමිතුරුවූ මේ සිතෙහි මල තුනෙක් වෙත්, කවර තුනෙක්දයත්?
“මහණෙනි, ලෝභයතෙම සිත කෙලෙසන මලයක, සිතට අමිතුරෙක, සිතට සතුරෙක, සිත පෙළන්නෙක, හිතට පසමිතුරෙක, මහණෙනි, ද්වේෂය තෙම සිත කෙලෙසන මලයෙක, සිතට අමිත්‍රයෙක, සිතට සතුරෙක, සිත පෙළන්නෙක, සිතට පසමිතුරෙක, මහණෙනි, මෝහය සිත කෙලෙසන මලයෙක, සිතට අමිතුරෙක සිත පෙලන්නෙක. සිතට පසමිතුරෙක.
මහණෙනි, මේ තුන් ධර්මයෝ වනාහි සිත කෙලෙසන මලයෝය. සිතට අමිතුරෝය. සිතට සතුරෝය. සිතට හිංසා කරන්නෝය සිතට පසමිතුරෝ යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“ලෝභයතෙම (තමහටද පරහටද) අවැඩ උපදවන්නේය. ලෝභය සිත කලඹන්නේය. සිතෙහිම උපන් ලෝභය බියට හේතුයයි ජනතෙමේ නොදනී.
3. ලුද්ධො අත්ථං න ජානාති ලුද්ධො ධම්මං න පස්සති,
අන්ධන්තමං තදා හොති යං ලොභො සහතෙ නරං.
“යමෙක් වනාහි ලෝභය පහකොට ඇලුම් කටයුතු දිව්‍යමය රූපාදියෙහි නොඇලේද නෙලුම් කොළයකින් දියබිඳුසෙයින් ලෝභය ආර්යමාර්ගයෙන් පහවෙයි.
ද්වේෂය තෙම අනර්ථ උපදවන්නේය. ද්වේෂය තෙම සිත කළඹන්නේය. අභ්‍යන්තරයෙහි උපන් ද්වේෂය භය හේතුයයි ජනතෙමේ නොදනී.
“ද්වේෂයෙන් දූෂිත පුද්ගලතෙමේ අර්ථය නොදනී. ද්වේෂයෙන් දූෂිතවූ පුද්ගල තෙමේ ධර්මයද නොදනී. යම් කලෙක්හි ද්වේෂයතෙම සත්වයා මැඩලාද, එකල්හි අඳබව කරන (මොහ නමැති) අඳුර වෙයි.
“යමෙක් වනාහි ද්වේෂය සුදුසු පරිද්දෙන් පහකොට ද්වේෂකටයුතු අනිටු අරමුණෙහි දූෂ්‍ය නොකෙරේද, තැරියෙන් ගිලිහුණු තල් ගෙඩියක් සේ ඒ පුද්ගලයාගේ සිතින් ද්වේෂය ප්‍රහීන වෙයි.
“මෝහයතෙමේ අවැඩ උපදවන්නේ වෙයි. මෝහය තෙමේ සිත කළඹන්නේවෙයි. අභ්‍යන්තරයෙහි උපදනා මෝහය භය හේතුයයි ජනතෙමේ නොදනී.
“මුළාවූ පුද්ගලතෙමේ වැඩ නොදනී. මුළාවූ පුද්ගල තෙමේ ධර්මයද නොදකී. යම් කලෙක්හි මෝහය තෙමේ සත්වයා මඩීද, එකල්හි (ඔහුගේ) අන්ධභාවය කරන්නාවූ අඳුර වේ
“යමෙක් වනාහි මෝහය පහකොට මුළාවියයුතු අරමුණෙහි මුළා නොවේද, ඒ ආර්ය පුද්ගලතෙමේ උදාවන හිරු අඳුරු (නසන්නාසේ) සියලු මෝහය (අර්හත් මාර්ගයෙන්) සහමුලින් නසා යයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. යයි මා විසින් අසන ලදී.
3. 4. 10.
10. දෙවදත්ත අසද්ධම්ම සූත්‍රය
මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
“මහණෙනි, අසත්පුරුෂයන්ගේ තුන්ධර්මයකින් (හෝ) අශාන්තවූ තුන් දහමකින් මඩනාලද්දාවූ හාත්පස අල්ලාගන්නාලද සිත් ඇත්තාවූ දෙව්දත් තෙමේ අපායයෙහි ඉපදීමට සුදුස්සෙක්විය. (අවීචිමහ) නිරයයෙහි උපදින්නෙක්වීය. (සම්පූර්ණ) එක්අන්තරකල්පයක් සිටින්නෙක්වීය, පිළියම් නොකොට හැක්කෙක්වීය. කවර අසද්ධර්ම තුණකින්දයත්?