3. 2. 2.
2. දිට්ඨ සුගති සූත්රය
71. මේ සූත්රය භාග්යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ බව මා විසින් අසන ලදී:
1. “මහණෙනි, කයින් පින් කිරීමෙන් යුක්තවූද, වචනයෙන් සුචරිතයෙහි හැසිරීමෙන් යුක්තවූද, සිතින් සුචරිතයෙහි හැසිරීමෙන් යුක්තවූද, ආර්යයන්ට උපවාද නොකළාවූද, සම්යග් දෘෂ්ටියෙන් යුක්ත වූද මනා දර්ශනය හේතුකොට ගන්නා ලද කර්මයන් ඇත්තාවූද සත්වයෝ මා විසින් දක්නා ලද්දාහුය. ඒ සත්වයෝ ශරීරය බිඳීයාමෙන් මරණින් මතු මනා ගති ඇත්තාවූ සුවයෙන් අග්රවූ දෙව්ලොවට පැමිණියාහුය.
ඒ ප්රකාශය වූකලි අන් මහණෙකුගේ වේවයි බමුණෙකුගේ වේවයි තෙපුල් අසා නොම කියමි.
මහණෙනි, මා විසින් කාය සුචරිතයෙන් යුක්තවූද වාග්සුචරිතයෙන් යුක්ත වූද මනො සුචරිතයෙන් යුක්තවූද ආර්යයනට උපවාද නොකළාවූද, සම්යක් දෘෂ්ටි ඇත්තාවූද, සම්යක් දර්ශනයෙන් මනාකොට ගන්නාලද කර්මයන් ඇත්තාවූද සත්වයෝ දක්නා ලද්දාහුය, ඒ සත්වයෝ කය බිඳීමෙන් පසු ශෝභනගති ඇත්තාවූ සැපයෙන් අග්රවූ දිව්යලෝකයට පැමිණියාහ.
එහෙත් මහණෙනි, යමක් තමා විසින්ම දන්නා ලද්දේද, තමා විසින් දක්නා ලද්දේද, තමා විසින් ප්රකටව දන්නා ලද්දේද, මම එයම කියමි.
මහණෙනි, කයින් සුසිරි කිරීමෙන් යුක්තවූද වචනයෙන් සුචරිතයෙහි හැසිරීමෙන් යුක්තද සිතින් සුචරිතයෙහි හැසිරීමෙන් යුක්තවූද ආර්යයනට ගර්හා නොකළාවූද සම්යග්දෘෂ්ටි ඇත්තාවූද, සම්යක් දෘෂ්ටි හේතුවෙන් මනාව ගන්නාලද කර්මයන් ඇත්තාවූද සත්වයෝ මා විසින් දක්නාලද්දාහුය, ඒ සත්වයෝ ශරීරය බිඳීයාමෙන් මරණින් මත්තෙහි සුන්දරගති ඇත්තාවූ සැපයෙන් අග්රවූ දෙව්ලොවට පැමිණියාහුය.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “මේ ලෝකයෙහි යම් පුද්ගලයෙක් සිත මනාව පිහිටුවා වචනයෙන් මුසාවාදාදිය නොකියා මනාව පිහිටුවා කයින් මනා කර්මාන්තයන් කොට මෙහි වසන්නේ ද,
3. මේ මිනිස් ලොව ස්වල්ප ජීවිතය ඇතිකල්හි බහුශ්රැතවූ පින්කළාවූ සප්රාඥවූ ඒ පුද්ගලතෙමේ ශරීරයාගේ බිඳීමෙන් මැරීමෙන් ස්වර්ගයට පැමිණේ.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.
3. 3. 3.
3. නිස්සාරණීයධාතු සූත්රය
72. මේ සූත්රය භාග්යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ බව මා විසින් අසන ලදී:
1. “මහණෙනි, නික්මීම පිළිබඳවූ සත්තශුන්ය ස්වභාවයෝ තුන්දෙනෙක් වෙති. කවර තුණක්ද යත්? මේ ප්රථමධ්යානයෙක් වේද, මේ කාමයන්ගේ පහවීමය, යම් මේ අරූපාවචර ධ්යානයෙක්වේද, මේ රූපාවචර ධර්මයන්ගේ පහවීමය, උපන්නාවූ කරන ලද්දාවූ හේතුවෙන් උපන්නාවූ යම් කිසි ධර්මයෙක් වේද, ඒ යම් හේතුවකින් ඇතිවූ ධර්මයාගේ පහවීම නිර්වාණය වේ. මහණෙනි, මේ වනාහි පහවීමට හේතුවූ තුන් ධාතුහු වෙත්යයි.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළ සේක, එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “මේ කාමයන්ගේ පහවීම දැන රූපාවචර ධර්මයන්ගේද ඉක්මවන උපායවූ සියලු සංස්කාරයන් සංසිඳීම ඇති නිවන නුවණින් ස්පර්ශ කරන්නාවූ සදහටම කෙලෙස් තවන වීර්යය ඇත්තාවූ,
3. යම් හෙයකින් සංයමවූ මනාව දක්නා සුලුවූ ඒ මහණ තෙමේ ඒකාන්තයෙන් එහි මිදේද, ඒකාන්තයෙන් අභිඥාසයෙන් අවසන් කළාවූ කෙලෙස් සංසිඳවූ දන්නාවූ ඒ මහණතෙමේ කාමාදී සතර යෝගයන් ඉක්මවූයේය.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.
3. 3. 4.
4. සන්තතර සූත්රය
73. මේ සූත්රය භාග්යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ බව මා විසින් අසන ලදී:
1. “මහණෙනි, රූපාවචර ධර්මයනට වඩා අරූපාවචර ධ්යානයෝ අතිශයින් ශාන්තයහ. අරූපාවචරධ්යානට වඩා නිර්වාණය අතිශයින් ශාන්තයයි.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළ සේක, එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “රූපභවයට පැමිණි යම් සත්වකෙනෙක් වෙද්ද, අරූපාවචරවූ යම් සත්ව කෙනෙක් වෙද්ද, නිර්වාණය නොදන්නාවූ ඒ සත්වයෝ පුනරුත්පත්තියට එන්නාහුය.
3. යම් කෙනෙක් වනාහි රූපාවචර ධර්මයන් පිරිසිඳ දැන, අරූප භවයන්හි නොසිටින්නාහු නිර්වාණයෙහි කෙලෙසුන් ගෙන් මිදෙද්ද, ඒ ක්ෂීණාශ්රව ජනයෝ මාරයන් පහකරන්නාහුය.
4. කාමාදි ආශ්රවයන් නැත්තාවූ මනාව අවබෝධ කළාවූ සර්වඥයන් වහන්සේ නාම කයින් මාර්ගඵලයන් ගෙන් නිර්වාණ ධාතුවට පැමිණ උපධීන් දුරලීමට කරුණුවූ නිර්වාණය ප්රත්යක්ෂ කොට ශොක නැත්තාවූ කෙලෙස් රජස් නැත්තාවූ නිර්වාණය දෙසන සේක.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.