3. 2. 10.
10. (දෙවෙනි) රාග සූත්‍රය
මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
69. “මහණෙනි, යම්කිසි මහණෙකුගේ හෝ මෙහෙණකගේ හෝ රාගය පහ නොවූයේ වේද, ද්වේෂය පහ නොවූයේවේද, මෝහය පහ නොවූයේ වේද, මහණෙනි, මෙතෙමේ බලවත් ක්‍රොධ නමැති මහරළ ඇත්තාවූ පස්කම් ගුණ නමැති දිය සුළි ඇත්තාවූ ස්ත්‍රීන් නමැති සැඩ මෝරමසුන් ඇත්තාවූ ස්ත්‍රීන් නමැති දිය රකුසන් ඇත්තාවූ සසර නමැති මුහුද තරණය නොකළේයයි කියනු ලැබේ.
“මහණෙනි, යම්කිසි මහණෙකු විසින් හෝ මෙහෙණක විසින් හෝ රාගය පහකරණ ලද්දේ වේද, ද්වේෂය පහ කරන ලද්දේ වේද මෝහය පහකරණ ලද්දේ වේද, මහණෙනි, මෙතෙමේ බලවත් ක්‍රොධ නමැති මහරළ ඇත්තාවූ පස්කම් ගුණ නමැති දියසුළි ඇත්තාවූ ස්ත්‍රීන් නමැති සැඩ මෝරමසුන් ඇත්තාවූ ස්ත්‍රීන් නමැති දිය රකුසන් ඇත්තාවූ සසරනැමැති සමුද්‍රය තරණය කළේයයිද එහෙයින්ම බැහැර කරණ ලද පව් ඇති බ්‍රහ්මණ තෙමේ සිටීයයිද කියනු ලැබේයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යමෙකු විසින් රාගයද ද්වේෂයද අවිද්‍යාවද නොපැවැත්ම කරණ ලද්දාහු වෙද්ද, හෙතෙම ස්ත්‍රීන් නැමැති (සැඩ මෝර මසුන් සහිතවූ ස්ත්‍රීන් නමැති දිය රකුසන් සහිතවූ (ක්‍රොධ නමැති ඉතා බිය වියයුතු රළ ඇත්තාවූ එතරවීමට දුෂ්කරවූ මේ (සසර නමැති) මුහුද ඉක්මවීය. කෙලෙස් මාරයා දුරු කළාවූ (කාමාදි) උපධි රහිතවූ හෙතෙම නැවත නොඋපදනා පිණිස දුක පහ කෙළේය. අස්තයට ගියාවූ එබඳු රහත් තෙමේ ප්‍රමාණයට නොපැමිණෙයි. (මරුවා) මුලාකරවී යයි කියමියි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. මා විසින් මෙසේ අසන ලදී.
පුණ්‍ය ක්‍රියා වර්ගය නිමි.
එහි උද්දානය (මාතෘකා):
පින්කිරියවත්, චක්ඛු, ඉන්ද්‍රිය, අද්ධා, දුච්චරිත, සුචරිත, සොචෙය්‍ය, මොනෙය්‍ය හා රාග සූත්‍ර දෙක ද යන මේවායින් දෙවන වර්ගය උතුම් යැයි කියත්.
3. දිට්ඨ වර්ගය
3. 3. 1.
1. දිට්ඨ දුග්ගති සූත්‍රය
70. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ බව මා විසින් අසන ලදී:
1. “මහණෙනි, මා විසින් කාය දුශ්චරිතයෙන් යුක්තවූද වාග් දුශ්චරිතයෙන් යුක්ත වූද මනො දුශ්චරිතයෙන් යුක්තවූද ආක්‍රොශ කළාවූද මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූද වරදවා දක්නාවූද මිථ්‍යා දර්ශන හේතුවෙන් සමාදන් වන ලද නොඑක් කර්මයන් ඇත්තාවූද සත්වයෝ දක්නා ලද්දාහුය, ඒ සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණයෙන් මත්තෙහි සැපයෙන් පහවූ දුකට පිහිටවූ නපුරුසේ වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහුය.
මහණෙනි, මේ කරුණ මා අන් මහණකුගෙන් හෝ බමුණකුගෙන් හෝ අසා නො කියමි.
මහණෙනි, මා විසින් කයින් දුශ්චරිත කිරීමෙන් යුක්තවූද වචනයෙන් දුශ්චරිතයෙහි හැසිරීමෙන් යුක්තවූද, සිතින් දුශ්චරිතයෙහි හැසිරීමෙන් යුක්තවූද, ආර්යයන්ට උපවාද කළාවූද, මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්තවූද, මිථ්‍යාදෘෂ්ටීන් ගන්නා ලද නොඑක් කර්මයන් ඇත්තාවූද සත්වයෝ දක්නා ලද්දාහුය, ඒ සත්වයෝ කය බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ දුකට පිහිටවූ නපුරුසේ වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහුය.
එහෙත් මහණෙනි, යමක්ම තමා විසින් දන්නාලද්දේද තමා විසින් දක්නා ලද්දේද, තමා විසින් ප්‍රකට කොට දන්නා ලද්දේද, එයම මම කියමි.
තවද මහණෙනි, කාය දුශ්චරිතයෙන් යුක්තවූද වාග් දුශ්චරිතයෙන් යුක්තවූද, මනො දුශ්චරිතයෙන් යුක්ත වූද, ආර්යයන්ට ගර්හාකළාවූද, විපරීත දර්ශනයෙන් යුක්තවූද මිථ්‍යාදෘෂ්ටි කර්මයන් සමාදාන කොට ඇත්තාවූද සත්වයෝ මා විසින් දක්නා ලද්දාහුය. මහණෙනි, ඒ සත්වයෝ කය බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් තොරවූ දුකට පිහිටවූ නපුරුසේ වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහුය.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක, එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “මේ ලෝකයෙහි පුද්ගලතෙමේ සිත වරදවා පිහිටුවා මිථ්‍යා වචන කියා කයින් වැරදි කර්මයන් කොට මෙහි වසන්නේ ද,
3. මේ මිනිස් ලොව ස්වල්ප ජීවිතය ඇතිකල්හි අසූතවත් වූ පව් කරන්නාවූ ඒ නුවණ නැති පුද්ගල තෙමේ කය බිඳීමෙන් පසු නරකයට උත්පත්ති වශයෙන් පැමිණේ.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.