3. 1. 6.
6. (දෙවන) එසනා සූත්රය
55. මේ කරුණ භාග්යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ සේකැයි මා විසින් අසන ලදී.
“මහණෙනි, මේ සෙවීම් තුනක් වෙති. කවර තුනක්ද යත්? කාමයන් සෙවීමය භවයන් සෙවීමය, බඹසර සෙවීමය (යන තුනය) මහණෙනි, මේ වනාහි සෙවීම් තුනයයි.
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක, එහි මේ කරුණ මෙසේ කියනු ලැබේ.
“බඹසර සෙවීම සමග කාමයන් සෙවීමය භවයන් සෙවීමය මෙසේ වරදවා ගන්නාවූ සියලු අනර්ථ දෘෂ්ටීහු
සියලු රාගයෙන් නොඇලුනාවූ තෘෂ්ණා ක්ෂය සංඛ්යාත නිර්වාණයෙහි මිදුණු (රහත්) හු විසින් සෙවීම පහකරන ලද්දීය. බ්රහ්මචරිය පරියෙසනායයි කියන ලද (මිථ්යා) දෘෂ්ටීහු සහමුලින් නසන ලද්දාහුය. සෙවීම ක්ෂය වීමෙන් (යොගීතෙමේ) බිඳදැමූ කෙලෙස් ඇත්තේ වේ. ආශ්රවයන් නැත්තේවේ. කෙසේදෝ කෙසේදෝ (පැවැති) සැකය නැත්තේ වේයයි”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.
3. 1. 7.
7. (පළමුවන) ආශ්රව සූත්රය
56. මේ කරුණ භාග්යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ සේකැයි මා විසින් අසන ලදී.
“මහණෙනි, මේ ආශ්රවයෝ (කලක් පවතිමින් එන කෙළෙස්) තුන්දෙනෙක් වෙත්. කවර තුනක්ද යත්? කාමාශ්රය, භවාශ්රවය අවිද්යාශ්රවය (යන තුනය) මහණෙනි, මේ වනාහි තුන් ආශ්රවයෝ වෙති.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ කරුණ මෙසේ කියනු ලැබේ.
“එකඟවූ සිත් ඇති සම්යක් ප්රඥාව ඇත්තාවූ සිහිය ඇත්තාවූ බුද්ධ ශ්රාවකතෙම ඉදින් ආශ්රවයන්ද ආශ්රවයන්ගේ ඉපදීමට හේතුව විශේෂයෙන් දනීද,
“යම්තැනෙක්හි මේ ආශ්රවයෝ නොපවතිද්ද, ක්ෂය කිරීමට පමුණුවන්නාවූ මාර්ගයද දනීද, ආශ්රවයන්ගේ ක්ෂය කිරීමෙන් තෘෂ්ණාව නැත්තාවූ (රහත්) මහණ තෙම පිරිනිවියේයයි”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.
3. 1. 8.
8. (දෙවන) ආශ්රව සූත්රය
57. මේ කරුණ භාග්යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ සේකැයි මා විසින් අසන ලදී.
“මහණෙනි, මේ ආශ්රවයෝ තුන්දෙනෙකි. කවර තුනක්ද යත්? කාමාශ්රවය, භවාශ්රවය අවිද්යාශ්රවය (යන තුනය.) මහණෙනි, මේ වනාහි ආශ්රවයෝ තුන්දෙන වෙත් යයි.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යමෙකුගේ කාමාශ්රවය ක්ෂයවීද, අවිද්යා තොමෝද පහවූවාද, භවාශ්රය සර්වප්රකාරයෙන් ක්ෂයවූයේද ක්ලෙශයන්ගෙන් විශේෂයෙන් මිදුනාවූ කෙලෙස් නැත්තාවූ ඒ මහණතෙම සේනාව සහිත මාරයා සිඳ අන්තිම ශරීරය දරා යයි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.