3. 1. 7.
7. (පළමුවන) ආශ්රව සූත්රය
56. මේ කරුණ භාග්යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ සේකැයි මා විසින් අසන ලදී.
“මහණෙනි, මේ ආශ්රවයෝ (කලක් පවතිමින් එන කෙළෙස්) තුන්දෙනෙක් වෙත්. කවර තුනක්ද යත්? කාමාශ්රය, භවාශ්රවය අවිද්යාශ්රවය (යන තුනය) මහණෙනි, මේ වනාහි තුන් ආශ්රවයෝ වෙති.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ කරුණ මෙසේ කියනු ලැබේ.
“එකඟවූ සිත් ඇති සම්යක් ප්රඥාව ඇත්තාවූ සිහිය ඇත්තාවූ බුද්ධ ශ්රාවකතෙම ඉදින් ආශ්රවයන්ද ආශ්රවයන්ගේ ඉපදීමට හේතුව විශේෂයෙන් දනීද,
“යම්තැනෙක්හි මේ ආශ්රවයෝ නොපවතිද්ද, ක්ෂය කිරීමට පමුණුවන්නාවූ මාර්ගයද දනීද, ආශ්රවයන්ගේ ක්ෂය කිරීමෙන් තෘෂ්ණාව නැත්තාවූ (රහත්) මහණ තෙම පිරිනිවියේයයි”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.
3. 1. 8.
8. (දෙවන) ආශ්රව සූත්රය
57. මේ කරුණ භාග්යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ සේකැයි මා විසින් අසන ලදී.
“මහණෙනි, මේ ආශ්රවයෝ තුන්දෙනෙකි. කවර තුනක්ද යත්? කාමාශ්රවය, භවාශ්රවය අවිද්යාශ්රවය (යන තුනය.) මහණෙනි, මේ වනාහි ආශ්රවයෝ තුන්දෙන වෙත් යයි.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යමෙකුගේ කාමාශ්රවය ක්ෂයවීද, අවිද්යා තොමෝද පහවූවාද, භවාශ්රය සර්වප්රකාරයෙන් ක්ෂයවූයේද ක්ලෙශයන්ගෙන් විශේෂයෙන් මිදුනාවූ කෙලෙස් නැත්තාවූ ඒ මහණතෙම සේනාව සහිත මාරයා සිඳ අන්තිම ශරීරය දරා යයි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.
3. 1. 9.
9. තෘෂ්ණා සූත්රය
58. මේ කරුණ භාග්යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ සේකැයි මා විසින් අසන ලදී.
“මහණෙනි, මේ තෘෂ්ණා තුනක් වෙත්. කාමතෘෂ්ණාවය, භවතෘෂ්ණාවය, විභව තෘෂ්ණාවය යන තුනය. මහණෙනි, මේ වනාහි තෘෂ්ණා තුනයයි.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“තෘෂ්ණා නම් යොගයෙන් භවයොගයෙන්ද බැඳුනාවූ ඇලුණු සිත් ඇත්තාවූ මාරයාගේ මලපුඩුවේ බැඳුනාවූ උපදවන්නාවූ ඒ පුද්ගලයෝ නිර්භයවූවාහු නොවෙති. “ඉපදීමට හා මරණයට පැමිණෙනසුලුවූ (ඒ) සත්වයෝ සසරට යෙති.
යම් සත්වකෙනෙක් වනාහි තෘෂ්ණාව පහකොට ලොකු කුඩා භවයෙහි තෘෂ්ණාව නැත්තාහු වෙද්ද, යම්කෙනෙක් ආශ්රව ක්ෂය සංඛ්යාත අර්හත්ඵලයට පැමිණියාහු වෙද්ද, ඒ සත්වයෝම එතරට (නිවණට) ගියාහු වෙත් යයි”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.
3. 1. 10.
10. මාරධෙය්ය සූත්රය
59. මේ කරුණ භාග්යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ සේකැයි මා විසින් අසන ලදී.
“මහණෙනි, කරුණු තුනකින් යුත් මහණතෙමේ මාරයාට යටත් පෙදෙස ඉක්මවා හිරුමෙන් බබළයි. කවර කරුණු තුනකින්ද යත්? “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ අශෛක්ෂවූ (මතුමත්තෙහි නොහික්මිය යුතු බැවින්) අශෛක්ෂයනට අයත්වූ ශීලරාශියෙන් යුක්තවූයේ වේද, අශෛක්ෂ සමාධි රාශියෙන් යුක්තවූයේ වේද අශෛක්ෂ ප්රඥා රාශියෙන්ද යුක්තවූයේ වේද,
මහණෙනි, මේ කරුණු තුනෙන් වනාහි යුක්තවූ මහණතෙමේ මාරයාට අධිපති තැන මැඩ හිරුසේ බබළායයි.”
භාග්යවතුන් වහන්සේ මේ අර්ථය වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් රහත් පුද්ගලයෙකු විසින් ශීලයද සමාධියද ප්රඥාවද යන මේ අශෛක්ෂ ධර්මයෝ නොකොට වඩන ලද්දාහුද (හෙතෙම) මාරයාට යටත් පෙදෙස ඉක්මවා හිරුමෙන් බබළා යයි”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.
මාරධෙය්ය වර්ගය නිමි.
එහි උද්දානය:
මූල, ධාතු, වෙදනා, එසනා දෙකක් ද, ආසව දෙකක් ද, තණ්හා සහ මාරධෙය්ය ද යන මෙයින් උතුම් වූ පළමු වර්ගය යැයි කියති.