2. 2. 6.
6. අජාතභූත සූත්‍රය
43. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යැයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, නොඋපන්නාවූ පහළනොවූ නොකරන ලද්දාවූ නිවන ඇත. “මහණෙනි, ඉදින් නොඋපන්නාවූ පහළ නොවූ නොකරන ලද්දාවූ සකස් නොකරන ලද්දාවූ ඒ නිවන නොවීනම් මේලෝකයෙහි උපන් පහළවූ කරන ලද්දාවූ සංස්කරනය කරන ලද්දාවූ ස්කන්ධ පඤ්චකයාගේ නිස්සරණයෙන් නොපෙණෙන්නේය. මහණෙනි, යම්හෙයකින් වනාහි නොඋපන් පහළ නොවූ නොකරන ලද්දාවූ පිළියෙල නොකරන ලද්දාවූ නිවන විද්‍යමාන වේද, එහෙයින් උපන්නාවූ පහළවූ කරන ලද්දාවූ සකස් කරන ලද්දාවූ, පඤ්චස්කන්ධයාගේ නිස්සරණය සංසිඳීම පෙණේයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “හටගත් (ජාත), වූ (භූත), (ප්‍රත්‍යයන් හා) එක්ව උපන් (සමුප්පන්න), ප්‍රත්‍යයන්ගෙන් කරන ලද (කත), ප්‍රත්‍යයන් එක්ව සකස් කළ (සඞ්ඛත), ස්ථිර නොවූ, ජරා මරණ හා එකට බැඳුණු, රෝගයන්ට කැදැල්ලක් වූ, වහා බිඳෙන සුලු, ආහාරය හා තෘෂ්ණාව ප්‍රභව කොට ඇති ඒ (පඤ්චස්කන්ධය) සතුටින් පිළිගැනීමට සුදුසු නොවේ.
3. ඒ (පඤ්චස්කන්ධයෙන්) නික්මීම (වූ නිර්වාණය) ශාන්ත වේ. තර්කයෙන් දත නොහැක්කේ වේ. ස්ථිර (ධ්‍රැව) වේ. නූපන්නේ (අජාත) වේ. හට නොගත්තේ (අසමුප්පන්න) වේ. ශෝක නැත්තේ වේ. කෙලෙස් දූවිලි නැත්තේ වේ. (පිළිපැදිය යුතු) පදය වේ. දුක්ඛ ධර්මයන්ගේ නිරෝධය වේ. සංස්කාරයන්ගේ සංසිඳීම වේ. (අත්‍යන්ත) සැපය වේ.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
2. 2. 7.
7. නිබ්බානධාතුමය සූත්‍රය
44. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යැයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, මේ නිර්වාණ ධාතූහු දෙදෙනෙක් වෙත්. කවර දෙකක්දයත්? සවුපාදිශෙෂ නිර්වාණ ධාතුවය, අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවය (පඤ්චස්කන්ධයශෙෂ නොවූ නිර්වාණධාතුවය යන දෙකය.)
2. “මහණෙනි, සවුපාදිශෙෂ නිර්වාණධාතුතොමෝ කවරීද?
මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ රහත් වූයේ, ක්ෂය කළ ආශ්‍රව ඇත්තේ, (බඹසර) වාසය නිම කළේ, කළ යුතු දේ කළේ, (තුන්) බර බහා තැබුවේ, ස්වකීය අර්ථය (රහත් බව) පිළිවෙළින් ලැබුවේ, භව සංයෝජන ක්ෂය කළේ, මනාකොට දැන (කෙලෙසුන්ගෙන්) මිදුණේ වෙයි. ඔහුගේ පඤ්චෙන්ද්‍රියයෝ පවතිත්මය. ඒවා නිරුද්ධ නොවූ බැවින් ඔහු මනාප අමනාප (රූපාදී අරමුණු) ලබයි; (විපාක වූ) සැප දුක් විඳියි. ඔහුගේ යම් රාගක්ෂයක්, ද්වේෂක්ෂයක්, මෝහක්ෂයක් වේ ද, මහණෙනි, මෙය සෝපාදිශේෂ නිර්වාණධාතුව යයි කියනු ලැබේ.
3. මහණෙනි, අනුපාදිශේෂ නිර්වාණධාතුව කවරේ ද?
මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ රහත් වූයේ, ක්ෂය කළ ආශ්‍රව ඇත්තේ, (බඹසර) වාසය නිම කළේ, කළ යුතු දේ කළේ, (තුන්) බර බහා තැබුවේ, ස්වකීය අර්ථය (රහත් බව) පිළිවෙළින් ලැබුවේ, භව සංයෝජන ක්ෂය කළේ, මනාකොට දැන (කෙලෙසුන්ගෙන්) මිදුණේ වෙයි. මහණෙනි, ඔහුගේ සියලු වේදනාවෝ (තෘෂ්ණාදියෙන්) සතුටින් නොපිළිගන්නා ලද්දාහු මේ අත්බැව්හිම සිහිල් වන්නාහුය. මහණෙනි, මෙය අනුපාදිශේෂ නිර්වාණධාතුව යයි කියනු ලැබේ.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
4. “ඇසුරු නොකළාවූ රාගාදිබන්ධනයෙන් නොබැඳුණාවූ එක ස්වභාව ඇත්තාවූ පසැස් ඇත්තාවූ බුදුන් වහන්සේ විසින් මේ නිර්වාණ ධාතුදෙකෙක් ප්‍රකාශ කරනලද්දාහුය. (ඔවුනතුරින්) මේලෝකයෙහි මේ ආත්ම බවෙහිවූ (වර්තමානවූ) තෘෂ්ණාව ක්ෂයවූ එක් නිර්වාණ ධාතුවක් වනාහි සඋපාදිශෙෂ නිර්වාණධාතු නම් වේ.
5. “යම් අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙක්හි සර්වප්‍රකාරයෙන් ඉපදීම භවයෝ නොපවතිද්ද, යම් ආර්ය කෙනෙක් ප්‍රත්‍යයන් විසින් නොකරනලද්දාවූ පැමිණෙන ලද්දාවූ මේ නිවන දැන තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් (කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇත්තාහුවෙද්ද, ඒ ආර්යයෝ ධර්මයන්හි සාරයවූ රහත් බව ලැබීමෙන් නිර්වාණයෙහි ඇලුනාහු නොසැලෙන්නාහු සියලු භවයන් පහකළහ. ඉන් ඔබ්බෙහි අනුපාදිශෙෂ නිර්වාණධාතුව නමි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.