2. 2. 7.
7. නිබ්බානධාතුමය සූත්රය
44. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යැයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, මේ නිර්වාණ ධාතූහු දෙදෙනෙක් වෙත්. කවර දෙකක්දයත්? සවුපාදිශෙෂ නිර්වාණ ධාතුවය, අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවය (පඤ්චස්කන්ධයශෙෂ නොවූ නිර්වාණධාතුවය යන දෙකය.)
2. “මහණෙනි, සවුපාදිශෙෂ නිර්වාණධාතුතොමෝ කවරීද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ක්ලෙශයන්ගෙන් දුරුවූයේ වේද, ක්ෂය කරනලද ආශ්රවයන් ඇත්තේවේද, නිමවූ විසීම ඇත්තේවේද, කරනලද කටයුතු ඇත්තේවේද, බහා තබනලද තුන්බර ඇත්තේවේද, පැමිණි ස්වකීය අර්ථය ඇත්තේවේද, ක්ෂයවූ භව සංයෝජනයන් ඇත්තේවේද, මනාකොට දැන ක්ලේශයන්ගෙන් මිදුනේවෙද, ඒ රහත්හුගේ පඤ්චෙන්ද්රියයෝ සිටිත්මය. යම් ඉඳුරන්ගේ මනවඩන්නාවූද මන නොවඩන්නාවූද, රූපාදි ගෝචරය විඳී, (ලබයි.) (විපාකය) සුවදුක් විඳියි ඔහුගේ රාගය ක්ෂය වීය. ද්වේෂය ක්ෂයවිය, මෝහය ක්ෂයවීය. මහණෙනි මේ සවුපාදිශෙෂ නිර්වාණධාතු යයි කියනු ලැබේ.
3. “මහණෙනි, අනුපාදිශෙෂ නිර්වාණධාතු තොමෝ කවරීද?
මහණෙනි මේ ශාසනයෙහි මහණතෙම රහත්වේද, ක්ෂයවූ ආශ්රවයන් ඇත්තේ වේද, නිමවූ බඹසර විසීම ඇත්තේ වේද, කරනලද කටයුතු ඇත්තේවේද, බහා තබනලද බර ඇත්තේවේද? පැමිණි ස්වකීය අර්ථ ඇත්තේවේද, ක්ෂය කරන ලද භවයංයෝජනයන් ඇත්තේවේද, මනාව දැන මිදුණේවේද, මහණෙනි, ඒ භික්ෂුවගේ වේදනාවෝ සතුටු නොවන ලද්දාහු සංස්කාර සමථයන්ගේ සංසිඳීමෙන්ද සිහිල් වන්නාහුය. මහණෙනි, මෝ අනුපාදිශෙෂ නිර්වාණධාතුයයි කියනු ලැබේ.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
4. “ඇසුරු නොකළාවූ රාගාදිබන්ධනයෙන් නොබැඳුණාවූ එක ස්වභාව ඇත්තාවූ පසැස් ඇත්තාවූ බුදුන් වහන්සේ විසින් මේ නිර්වාණ ධාතුදෙකෙක් ප්රකාශ කරනලද්දාහුය. (ඔවුනතුරින්) මේලෝකයෙහි මේ ආත්ම බවෙහිවූ (වර්තමානවූ) තෘෂ්ණාව ක්ෂයවූ එක් නිර්වාණ ධාතුවක් වනාහි සඋපාදිශෙෂ නිර්වාණධාතු නම් වේ.
5. “යම් අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙක්හි සර්වප්රකාරයෙන් ඉපදීම භවයෝ නොපවතිද්ද, යම් ආර්ය කෙනෙක් ප්රත්යයන් විසින් නොකරනලද්දාවූ පැමිණෙන ලද්දාවූ මේ නිවන දැන තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් (කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇත්තාහුවෙද්ද, ඒ ආර්යයෝ ධර්මයන්හි සාරයවූ රහත් බව ලැබීමෙන් නිර්වාණයෙහි ඇලුනාහු නොසැලෙන්නාහු සියලු භවයන් පහකළහ. ඉන් ඔබ්බෙහි අනුපාදිශෙෂ නිර්වාණධාතුව නමි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
2. 2. 8.
8. පටිසල්ලානරත සූත්රය
45. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යැයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, කාය විවේකයෙහි ඇලුනෝව තමාගේ චිත්ත සමථයෙහි යෙදුනෝව නොසනසන ලද ධ්යාන ඇත්තෝව විදර්ශනා ඥානයෙන් යුක්ත වූවෝව ශුන්යාගාරයන් වඩන්නෝව වසවු. “මහණෙනි, කාය විවේකය වූ කාය විවේකයෙහි ඇලුනාවූ තමාගේ සිත සංසිඳීමෙහි යෙදී වසන්නාවූ බැහැර නොකරන ලද ධ්යාන ඇත්තාවූ විදර්ශනාඥානයෙන් යුක්තවූ ශුන්යාගාරයන් වඩන්නවුන්ට මේ ආත්මභාවයෙහිම රහත් බව හෝ උපාදිශෙෂය කල්හි අනාගාමිබව හෝ (යන) දෙපලයන් අතුරෙන් එක්තරා පලයක් කැමතිවිය යුතුයයි.
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “යම් යෝගාවචරකෙනෙක් සන්සුන් සිත් ඇත්තාහු වෙද්ද, නුවණ ඇත්තාහු වෙද්ද, සිහි ඇත්තාහුම වෙද්ද, ධ්යාන කිරීමෙහි යෙදුනාහු වෙද්ද, ඇලුම් නැත්තා වූ (ඒ යෝගීහු) මනාකොට (පඤ්චස්කන්ධ) ධර්මය වෙසෙසින් බලත්,
3. “අප්රමාදයෙහි ඇලුනාවූ ශාන්තවූ කුසල් සිත නොයෙදීම නම් ප්රමාදයෙහි භය දක්නාවූ පුද්ගලයෝ පිරිහීමට නුසුදුස්සෝ වෙත්, නිර්වාණයාගේම සමීපයෙහි වේ යයි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
2. 2. 9.
9. ශික්ෂානිසංස සූත්රය
46. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යැයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, ත්රිවිධ ශික්ෂාවන්ගේ අනුසස් ඇත්තෝව ප්රඥාව උතුම්කොට ඇත්තෝව විමුක්ති සාරය ඇත්තෝව සිහිය අධිපතිකොට ඇත්තෝව වසවු. “මහණෙනි, ශික්ෂාවන් අනුසස්කොට ඇතිව ප්රඥාව ප්රධානකොට ඇතිව විමුක්ති සාරය ඇතිව සිහිය අධිපති කොට ඇතිව වසන්නවුන්ට මේ ආත්මභාවයෙහිම අර්හත්ඵලය හෝ ක්ලේශොපාදිශෙෂය පහකරන්ට නොහැකි නුවණ ඇති කල්හි අනාගාමි ඵලය හෝ එක්තරා ඵලයක් කැමැතිවිය යුතුයයි.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “සම්පූර්ණවූ ශික්ෂාව ඇත්තාවූ නොකිපුණු (නොපිරිහුණු) ධර්ම ඇත්තාවූ ප්රඥාව ශ්රේෂ්ඨකොට ඇත්තාවූ ජාතියගේ ක්ෂයවූ නිවන (නොහොත්) ඉපදීම හා මරණයගේ ක්ෂයවූ නිවණ දක්නාසුලුවූ අවසන් සිරුර දරන්නාවූ මානය පහකළාවූ ජරාවගේ කෙළවරවූ නිවණට පැමිණියාවූ ඒ රහත්හු ඒකාන්තයෙන් මුනි යයි කියමි.
3. “එහෙයින් මහණෙනි, සදහටම ධ්යානයෙහි ඇලුනාහු සමාධියෙන් යුක්තවූවාහු කෙලෙස් තවන වීර්ය ඇත්තාහු ජාතියගේ ක්ෂයවූ නිවන දක්නාසුලු වූවාහු සෙනාව සහිතවූ (සතර) මරහුම මැඩ ජාති මරණයාගේ එතෙරට ගියාහුවමු යයි”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.