2. 2. 5.
5. සුක්කධම්ම සූත්‍රය
42. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යැයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, මේ ශුක්ලධර්මයෝ දෙදෙනෙක් සත්ව ලෝකය රකිත්. කවර දෙදෙනෙක්ද යත්? පවට ලජ්ජාවද පවට භයද (යන දෙකය.) “මහණෙනි, මේ කුසල් දහම් දෙක මේ ලොව නොරක්නාහු නම් මේ සත්ව ලෝකයෙහි මවයයි කියා හෝ කුඩා මව යයි කියා හෝ නැන්දනියයි කියා හෝ ආචාර්යයන්ගේ භාර්යාවයයි කියා හෝ ගරුකටයුත්තන්ගේ බිරියයි කියා හෝ නොපෙණෙන්නේය. එළු තිරෙළුවෝද කුකුළු ඌරෝද බලු සිවල්ලුද යම්සේද ලෝවැස්සා (එපරිද්දෙන්) සංකරයට සීමා භෙදයට හෝ පැමිණෙන්නේය. “මහණෙනි, යම් හේතුවකින් වනාහි මේ අනවද්‍ය ධර්මයෝ දෙදෙන ලොව රකිද්ද, එහෙයින් මවයයි කියාද කුඩා මවයයි කියාද නැන්දනීයයි කියාද ඇදුරු බිරියයයි කියාද ගරුකටයුත්තන්ගේ අඹුවයයි කියාද, පෙණෙන්නේ යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අරුත මෙසේ කියනු ලැබේ:
2. “යම් සත්වයන්ගේ හිරිඔතප් දෙක හැමදාම නොලැබේද, කුසල් මුලින් ඉවත්වූ ඒ සත්වයෝ ජාති මරණයන්ට පැමිණෙන්නාහුය.
3. “යම් සත්වයන්ගේ වනාහි හැමකල්හි හිරිඔතප් දෙක මනාව එළඹ සිටියාහුද, වැඩුණු ශාසන මාර්ග බ්‍රහ්මචරිය ඇත්තාහු වෙද්ද, සත්පුරුෂවූ (ඔහු) ක්ෂයවූ නැවත ඉපදීම ඇත්තෝ වෙත්යයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
2. 2. 6.
6. අජාතභූත සූත්‍රය
43. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යැයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, නොඋපන්නාවූ පහළනොවූ නොකරන ලද්දාවූ නිවන ඇත. “මහණෙනි, ඉදින් නොඋපන්නාවූ පහළ නොවූ නොකරන ලද්දාවූ සකස් නොකරන ලද්දාවූ ඒ නිවන නොවීනම් මේලෝකයෙහි උපන් පහළවූ කරන ලද්දාවූ සංස්කරනය කරන ලද්දාවූ ස්කන්ධ පඤ්චකයාගේ නිස්සරණයෙන් නොපෙණෙන්නේය. මහණෙනි, යම්හෙයකින් වනාහි නොඋපන් පහළ නොවූ නොකරන ලද්දාවූ පිළියෙල නොකරන ලද්දාවූ නිවන විද්‍යමාන වේද, එහෙයින් උපන්නාවූ පහළවූ කරන ලද්දාවූ සකස් කරන ලද්දාවූ, පඤ්චස්කන්ධයාගේ නිස්සරණය සංසිඳීම පෙණේයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “හටගත් (ජාත), වූ (භූත), (ප්‍රත්‍යයන් හා) එක්ව උපන් (සමුප්පන්න), ප්රත්යයන්ගෙන් කරන ලද (කත), ප්‍රත්‍යයන් එක්ව සකස් කළ (සඞ්ඛත), ස්ථිර නොවූ, ජරා මරණ හා එකට බැඳුණු, රෝගයන්ට කැදැල්ලක් වූ, වහා බිඳෙන සුලු, ආහාරය හා තෘෂ්ණාව ප්‍රභව කොට ඇති ඒ (පඤ්චස්කන්ධය) සතුටින් පිළිගැනීමට සුදුසු නොවේ.
3. ඒ (පඤ්චස්කන්ධයෙන්) නික්මීම (වූ නිර්වාණය) ශාන්ත වේ. තර්කයෙන් දත නොහැක්කේ වේ. ස්ථිර (ධ්රැව) වේ. නූපන්නේ (අජාත) වේ. හට නොගත්තේ (අසමුප්පන්න) වේ. ශෝක නැත්තේ වේ. කෙලෙස් දූවිලි නැත්තේ වේ. (පිළිපැදිය යුතු) පදය වේ. දුක්ඛ ධර්මයන්ගේ නිරෝධය වේ. සංස්කාරයන්ගේ සංසිඳීම වේ. (අත්‍යන්ත) සැපය වේ.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.