2. 1. 2.
2. (ගුත්තද්වාරින්ද්‍රිය) සූත්‍රය
29. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී:
29. “මහණෙනි (කුශල) ධර්ම දෙකකින් යුත් මහණතෙමේ මේ ආත්මභාවයෙහිම පීඩා නැතිව දැඩි ආයාස නැතිව හැම ලෙසින් දැවිලි නැතිව සුවසේ වෙසෙයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි, සුගති තොමෝ කැමැති විය යුත්තීය. කවර දෙකකින්ද යත් ඉඳුරන්හි වසන ලද දොර ඇති බැවින්ද ආහාරයෙහි පමණ දත් බැවින්ද යන දෙකිනි.) “මහණෙනි, මේ ධර්ම දෙකින් යුත් මහණ තෙමේ මේ ආත්මභාවයෙහිම පීඩා නැතිව දැඩි ආයාස නැතිව හාත්පස දාහ නැතිව සුවසේ වෙසේය.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක, එහි (ගාථාවෙන්) මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“මේ සස්නෙහි යම් මහණෙකුගේ ඇසද, කණද, නැහැයද, දිවද කයද යළි සිතද (යන) මේ දොරවල් මනාව වසන ලද්දාහු වෙද්ද.
“ඉන්ද්‍රියයන්හිද සංවරවූ ඒ මහණතෙම බොජුනෙහි පමණ දන්නේත් වේද, (ඒ මහණතෙමේ) කායික සැපය චෛතසික සැපය (යන) හැම සැපයට පැමිණේ.
“එබඳු මහණතෙමේ දවල්හි හෝ රෑ හෝ නොදැවෙන කයින්ද නොදැවෙන සිතින්ද සුවසේ වෙසේයයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
2. 1. 3.
3. තපනීය ධම්ම සූත්‍රය
30. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
30. මහණෙනි, (මෙලොවද පරලොවද) වෙහෙසන්නාවූ හෝ දුකම සිතවූ හෝ පසු තැවිල්ලට හේතුවූ ධර්ම (කරුණු) දෙකක් වෙත්, කවර දෙකක්ද යත්? “මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙමේ නොකරන ලද පින් ඇත්තේ වේද, නොකරන ලද කුසල් ඇත්තේ වේද, නොකරන ලද දුකට රැකවල් ඇත්තේ වේද, කරන ලද පව් ඇත්තේ වේද, කරන ලද රෞද්‍ර ක්‍රියා ඇත්තේ වේද, කරන ලද දුසිල් බැව් ඇත්තේ වේද, හෙතෙම මා විසින් පින් නොකරන ලද්දේ” යයි ද තැවෙයි. ‘මා විසින් පව් කරන ලද්දේයයිද තැවෙයි, මහණෙනි, මේ වනාහී තැවියයුතු ධර්මදෙක වෙත්යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක, එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“කයින් දුශ්චරිත කොට වචනයෙන්ද දුශ්චරිතයක් කොට සිතින්ද දුසිරිකොට දෝෂ යයි දන්නා ලද අන්‍යවූ යම් අපරාධ වේද එයද කොට,
“කුසල් දහම් නොකොට බොහෝ අකුසල් කොට ඒ දුෂ්ප්‍රාඥතෙමේ ශරීරයාගේ භෙදයෙන් නරකයෙහි උපදීයයි”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
2. 1. 4.
4. අතපනීය ධම්ම සූත්‍රය
31. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී:
31. “මහණෙනි, පසුතැවිලි නොවිය යුතුවූ මේ ධර්මදෙකක් වෙත්, කවර දෙකක්ද යත්? “මහණෙනි, මේ ලෝකයෙහි සමහර පුද්ගලයෙක් තෙම කරන ලද යහපත ඇත්තේ වේද, කරනලද කුසල් ඇත්තේ වේද, කරන ලද රක්ෂා ස්ථාන ඇත්තේ වේද, නොකරන ලද පව් ඇත්තේ වේද, නොකරන ලද රෞද්‍ර ක්‍රියා ඇත්තේ වේද, නොකරන ලද දුශ්චරිත ඇත්තේ වේද, ඒ පුද්ගල තෙමේ මා විසින් කුසල් කරන ලද්දේයයිද පසුතැවිලි නොවෙයි. මා විසින් පව් නොකරන ලද්දේයයිද පසුතැවිලි නොවෙයි. මහණෙනි, මේ වනාහි පසුතැවිලි නොවිය යුතු කරුණු දෙක වෙත් යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක, එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“කයින් (කටයුතු) දුශ්චරිතයද වාක් දුශ්චරිතයන්ද මනො දුශ්චරිතයන්ද හැර දෝෂයයි දන්නා ලද අන්‍යවූ යම් (කර්ම පථභාවයට නො පැමිණි පිනක් වේද (එයද) හැර
අකුශල කර්මයක් නොකොට බොහෝ කුසල් කොට සප්‍රාඥවූ ඒ පුද්ගල තෙම ශරීරයාගේ බිඳීමෙන් (මරණයෙන් මතු) ස්වර්ගයෙහි උපදීයයි.’
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
2. 1. 5.
5. පාපක සීල සූත්‍රය
32. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
32. “මහණෙනි, ධර්ම දෙකකින් යුක්තවූ පුද්ගලතෙම ගෙනඑනලද (බරක්) බිම බහා තබනලද්දේ යම්සේද, එපරිද්දෙන් නිරයයෙහි වේ. කවර කරුණු දෙකකින්ද, ලාමකවූ ශීලයෙන්ද ලාමකවූ (මිථ්‍යා) දෘෂ්ටියෙන්ද (යන දෙකිනි.) මහණෙනි, මේ කරුණු දෙකින් වනාහි සමන්විතවූ පුද්ගලයා යම්සේ ගෙනඑනලද (බරක්බිම) බහාතබන ලද්දේවේද, එපරිද්දෙන් නිරයයෙහි වේයයි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් සත්වයෙක් තෙමේ ලාමක ශීලයෙන්ද ලාමක දෘෂ්ටියෙන්ද (යන) කරුණු දෙකින් යුක්ත වූයේවේද, දුෂ්ප්‍රාඥ වූ සත්ව තෙමේ කය බිඳීමෙන් නරකයට පැමිණේයයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.