1. 3. 6.
6. දාන සූත්‍රය
26. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
“මහණෙනි, මම යම් ප්‍රකාරයකින් දාන සංවිභාගයාගේ විපාකය එපරිද්දෙන් සත්වයෝ ඉදින් දන්නාහු නම් නොදී අනුභව නොකරන්නාහුය. ඔවුන්ගේ මසුරු මලද (නොහොත්) මසුරු බව හා දානයට අන්තරාය කරන්නාවූ ඊර්ෂ්‍යා (ලෝභ ද්වේෂාදී ක්ලෙශමලද සිත මැඩ නොම සිටින්නේය, ඔවුන්ගේ (සියල්ලට) පසුවූ ආලොපයෙක් අන්තිම බත් පිඬෙක් වන්නේද, ඉනිදු බෙදා නොදී අනුභව නොකරන්නාහුය, “ඉදින් ඔවුනට ප්‍රතිග්‍රාහකයෝ වන්නාහුනම් (දෙත්මය) “මහණෙනි, යම් හෙයකින් වනාහි යම්සේ මම දාන සංවිභාගයාගේ විපාකය දනිම්ද එපරිද්දෙන් සත්වයෝ නොදනිද්ද, එහෙයින් නොදී අනුභව කරති, මසුරු මලද ඔවුන්ගේ සිත මැඩගෙන සිටීයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“මහර්ෂීවූ බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද පරිද්දෙන් යම්සේ මහත් විපාක ඇත්තේ වේද, ඉදින් එසේ සත්වයෝ දාන සංවිභාගයාගේ විපාකය දන්නාහු නම්.
“විශේෂයෙන් ප්‍රසන්නවූ සිතින් (ඔහු) මසුරු මල දුරු කරන්නාහුය, යම් කෙනෙකුන්ට දෙන ලද්ද මහත් ඵල වේද, (ඒ) ආර්යයන්ට සුදුසු කාලයෙහි දෙන්නාහුය.
“බොහෝ ජනයාහට ආහාරද බොහෝ ආහාරද දක්ෂිණාව පිළිගන්නට සුදුසු ආර්යයන්ටදී මේ මිනිසත් බැවින් චුතවූ දායකයෝ ස්වර්ගයට යෙත්.
“මසුරු නොවූ ඔව්හුද දෙව්ලොවට ගියාහු එහි (සියලු) කාමසම්පත්තියෙන් යුක්තවූවාහු සතුටු වෙත් යයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
1. 3. 7.
7. මෙත්තාවාච සූත්‍රය
27. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
“මහණෙනි, උපදවන්නාවූ යම්කිසි පුණ්‍යක්‍රියාවෝ වෙද්ද, ඒ හැම පින්කිරියවත් මෛත්‍රී චෙතො විමුක්තියගේ ත්‍රික චතුෂ්කධ්‍යාන සම්පත්තියගේ සොළොස් වන කොටසින් කොටසටද නොඅගිත්. චෙතො විමුක්තියයි කියනලද මෛත්‍රිය ඒ පින් කිරියවත් මැඩගෙන බබළාමය, තවයි, විශේෂයෙන් බබළයි.” මහණෙනි, යම්සේ වනාහි තාරකා රූපයන්ගේ යම් ප්‍රභාවක් වෙත්ද, ඒ සියල්ල චන්ද්‍ර ප්‍රභාවගේ සොළොස්වැනි කලාවටද නොඅගිත්. චන්ද්‍ර ප්‍රභාවම ඒ සියල්ල මැඩගෙන බබළයිද, බබළයිද, විරාජමාන වෙයිද, “මහණෙනි, මෙසේ වනාහි උපධි සම්පත්තිය පිණිස පවත්නාවූ යම් පුණ්‍ය ක්‍රියා වස්තූහු වෙද්ද, ඒ සියල්ලන් මෛත්‍රී චෙතො විමුක්තියගේ සොළොස් වන කොටසින් කොටසටද නොවටිත්. මෛත්‍රී චෙතෝ විමුක්ති තොමෝ ඒ පින් කිරියවත් මැඩ පවත්වා බබළාමය, අතිසයින් තවයි. (එහෙයින්ම) විශේෂයෙන් බබළයි.”
“මහණෙනි, යම්සේ වනාහි වර්ෂා මාසයන්ගේ අන්තිම (ඉල්) මාසයෙහි සරත් කාලයෙහි වැසි දුරුවූ කල්හි පහවූ වලාකුල් ඇති අහසෙහි සඳ (උදාවූ තැනින්, අහස මුදුනට නගින්නේ අහසට ගිය සියලු අඳුරු නසා බබළාද, දිළියේද, වෙසෙසින් බබළාද, එපරිද්දෙන්ම මහණෙනි, ආත්මභාව සමාධිය පිණිස පවත්නාවූ යම්කිසි පින් කිරියවත් කෙනෙක් ඇද්ද, සියලු ඒවා මෛත්‍රී චෙතොවිමුක්තියගේ සොළොස්වන කොටසින් කොටසටද නොවටිත්’ මෛත්‍රීචෙතොවිමුක්තියම ඒවා මැඩ බබළාමය, වොරජනේම, වෙසෙසින් බබළාමය, “මහණෙනි, යම්සේ වනාහි රැයේ අලුයම් වේලෙහි දවහත් (සිකුරු) තරුව බබළාද, දිළියේද, වෙසෙසින් බබළාද, එපරිද්දෙන්ම මහණෙනි, උපධිසම්පත්තිය පිණිස පවත්නාවූ යම්කිසි පින් කිරියවත් කෙනෙක් වෙද්ද, ඒ සියල්ලෝ මෛත්‍රී චෙතො විමුක්තියගේ සොළොස් වන කොටසින් කොටසටද නොවටිත්. මෛත්‍රී චෙතො විමුක්ති තොමෝම ඒ පින් කිරියවත් මැඩ බබළාමය, වොරජනේමය, වෙසෙසින් බබළාමය”යි.
“භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යමෙක් වනාහි සිහි ඇත්තේ අප්‍රමාණවූ මෛත්‍රිය වඩාද, නිවන දක්නාහුගේ තුනීවීමෙන්, උපධික්ෂය නම් අර්හත් ඵලයට පැමිණ එය දන්නහුගේ (දස සංයෝජනයෝම) තුනීවෙත්.
“එකසත්වයෙකුටද දූෂිත නොවූ සිත් ඇත්තේ මෛත්‍රිය කෙරේද, ඒ මෛත්‍රියෙන් අතිශයින් කුසල් ඇත්තෙක්වේ. සියලු සතුන්ට සිතින් අනුකම්පා කරන්නාවූ ආර්ය තෙම බොහෝ පින් කෙරෙයි.
“යම් සත්ව කෙනෙක් සත්ව සමූහයාගෙන් ගැවසීගත් පොළොව ජයගෙන තවුසන් වැනි දැහිමි රජවරු දන්දෙමින් හැසුරුණාහුද, අශ්ව මෙධය පුරුෂ මෙධය සම්මාපාසය වාචපෙය්‍යය නිරග්ගළයයි (යන යාග) කළාහුද
“සියලු තරු සමූහයෝ එසඳඑළියේ සොළොස් වන කලාවෙන් කලාවටද නොපැමිණෙත් ඒ අශ්වමෙධාදී යාගයෝ මනාව වැඩූ මෙත් සිතගේ සොළොස්වන කලාවෙන් කලාවටද නොපැමිණෙත්.