1. 3. 7.
7. මෙත්තාවාච සූත්‍රය
27. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
“මහණෙනි, උපදවන්නාවූ යම්කිසි පුණ්‍යක්‍රියාවෝ වෙද්ද, ඒ හැම පින්කිරියවත් මෛත්‍රී චෙතො විමුක්තියගේ ත්‍රික චතුෂ්කධ්‍යාන සම්පත්තියගේ සොළොස් වන කොටසින් කොටසටද නොඅගිත්. චෙතො විමුක්තියයි කියනලද මෛත්‍රිය ඒ පින් කිරියවත් මැඩගෙන බබළාමය, තවයි, විශේෂයෙන් බබළයි.” මහණෙනි, යම්සේ වනාහි තාරකා රූපයන්ගේ යම් ප්‍රභාවක් වෙත්ද, ඒ සියල්ල චන්ද්‍ර ප්‍රභාවගේ සොළොස්වැනි කලාවටද නොඅගිත්. චන්ද්‍ර ප්‍රභාවම ඒ සියල්ල මැඩගෙන බබළයිද, බබළයිද, විරාජමාන වෙයිද, “මහණෙනි, මෙසේ වනාහි උපධි සම්පත්තිය පිණිස පවත්නාවූ යම් පුණ්‍ය ක්‍රියා වස්තූහු වෙද්ද, ඒ සියල්ලන් මෛත්‍රී චෙතො විමුක්තියගේ සොළොස් වන කොටසින් කොටසටද නොවටිත්. මෛත්‍රී චෙතෝ විමුක්ති තොමෝ ඒ පින් කිරියවත් මැඩ පවත්වා බබළාමය, අතිසයින් තවයි. (එහෙයින්ම) විශේෂයෙන් බබළයි.”
“මහණෙනි, යම්සේ වනාහි වර්ෂා මාසයන්ගේ අන්තිම (ඉල්) මාසයෙහි සරත් කාලයෙහි වැසි දුරුවූ කල්හි පහවූ වලාකුල් ඇති අහසෙහි සඳ (උදාවූ තැනින්, අහස මුදුනට නගින්නේ අහසට ගිය සියලු අඳුරු නසා බබළාද, දිළියේද, වෙසෙසින් බබළාද, එපරිද්දෙන්ම මහණෙනි, ආත්මභාව සමාධිය පිණිස පවත්නාවූ යම්කිසි පින් කිරියවත් කෙනෙක් ඇද්ද, සියලු ඒවා මෛත්‍රී චෙතොවිමුක්තියගේ සොළොස්වන කොටසින් කොටසටද නොවටිත්’ මෛත්‍රීචෙතොවිමුක්තියම ඒවා මැඩ බබළාමය, වොරජනේම, වෙසෙසින් බබළාමය, “මහණෙනි, යම්සේ වනාහි රැයේ අලුයම් වේලෙහි දවහත් (සිකුරු) තරුව බබළාද, දිළියේද, වෙසෙසින් බබළාද, එපරිද්දෙන්ම මහණෙනි, උපධිසම්පත්තිය පිණිස පවත්නාවූ යම්කිසි පින් කිරියවත් කෙනෙක් වෙද්ද, ඒ සියල්ලෝ මෛත්‍රී චෙතො විමුක්තියගේ සොළොස් වන කොටසින් කොටසටද නොවටිත්. මෛත්‍රී චෙතො විමුක්ති තොමෝම ඒ පින් කිරියවත් මැඩ බබළාමය, වොරජනේමය, වෙසෙසින් බබළාමය”යි.
“භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යමෙක් වනාහි සිහි ඇත්තේ අප්‍රමාණවූ මෛත්‍රිය වඩාද, නිවන දක්නාහුගේ තුනීවීමෙන්, උපධික්ෂය නම් අර්හත් ඵලයට පැමිණ එය දන්නහුගේ (දස සංයෝජනයෝම) තුනීවෙත්.
“එකසත්වයෙකුටද දූෂිත නොවූ සිත් ඇත්තේ මෛත්‍රිය කෙරේද, ඒ මෛත්‍රියෙන් අතිශයින් කුසල් ඇත්තෙක්වේ. සියලු සතුන්ට සිතින් අනුකම්පා කරන්නාවූ ආර්ය තෙම බොහෝ පින් කෙරෙයි.
“යම් සත්ව කෙනෙක් සත්ව සමූහයාගෙන් ගැවසීගත් පොළොව ජයගෙන තවුසන් වැනි දැහිමි රජවරු දන්දෙමින් හැසුරුණාහුද, අශ්ව මෙධය පුරුෂ මෙධය සම්මාපාසය වාචපෙය්‍යය නිරග්ගළයයි (යන යාග) කළාහුද
“සියලු තරු සමූහයෝ එසඳඑළියේ සොළොස් වන කලාවෙන් කලාවටද නොපැමිණෙත් ඒ අශ්වමෙධාදී යාගයෝ මනාව වැඩූ මෙත් සිතගේ සොළොස්වන කලාවෙන් කලාවටද නොපැමිණෙත්.
“යම් පුද්ගලයෙක් තෙම (කිසි සත්වයෙකු) නොවෙහෙසාද, (අනුන්ලවා) නොවෙහෙසවාද, නොදිනාද, (අනුන්ලවා) ධන හානිය නොකරවාද, (හෙතෙම) මෛත්‍රී අවයව ඇත්තේවේ. (එහෙයින්ම) කිසි කරුණකින් ඕහට අකුශල වෛරයෙක් නැත, (නොහොත්) කිසි පුරුෂයෙකු සමග වෛරයෙක් නැතැයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
චිත්ත වර්ගය නිමි.
එහි උද්දානය:
චිත්ත, භායී, උභොඅත්ථ, පුඤ්ජ, වෙපුල්ලපබ්බත, සම්පජානමුසාවාද, දාන, මෙත්තභාවනා යනාදී වශයෙන් මෙහි සූත්‍ර සතකි. පෙර (වර්ග දෙකෙහි) සූත්‍ර විස්සත් සමඟ ඒකක නිපාතයෙහි සූත්‍ර විසිහතක් සංග්‍රහ කරන ලදී.
එකක නිපාතය නිමි.
2. දුක නිපාතය
1. සංවෙජනීය වර්ගය
2. 1. 1.
1. (අගුත්තද්වාරින්ද්‍රිය) භික්ෂු සූත්‍රය
28. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී:
28. “මහණෙනි, (අකුශල) ධර්ම දෙකකින් යුක්තවූ මහණ තෙමේ මේ ආත්ම බවෙහිම බලවත් ආයාස ඇතිව ක්ලෙශ සන්තාපයෙන්ද ක්ලෙශ පරිදාහයෙන්ද දැවිලි ඇතිව දුකසේ වෙසෙයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි දුගති තොමෝ කැමතිවිය යුත්තීය. කවර දෙකකින්ද යත් නොවසන ලද දොර ඇති බවද අහරෙහි පමණ නොදන්නා බවද (යන දෙකිනි.) “මහණෙනි, මේ (අකුශල) ධර්ම දෙකින් යුත් මහණ තෙමේ මේ ආත්ම බවෙහිම පීඩා ඇතිව දැඩි ආයාස ඇතිව හාත්පස දාහ ඇතිව දුකසේ වාසය කෙරේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි දුගති තොමෝ කැමැති විය යුත්තීයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක, එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
මේ සස්නෙහි යම් මහණෙකුගේ ඇසද, කණද, නැහැයද, දිවද, කයද එසේම සිතද (යන) මේ දොරවල් නොවසන ලද්දාහු වෙද්ද.
“ඉඳුරන්හි සංවර නැත්තාවූ බොජුනෙහි පමණ නොදත් ඒ මහණතෙමේ කායික දුකටද චෛතසික දුකටද පැමිණේ.
“එබඳු පුද්ගලතෙමේ ඉදින් දවල්හි වේවයි, රෑ වේවයි දනුලබන්නාවූ කයින්ද දැවෙන සිතින්ද දුකසේ වෙසේයයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.