1. 3. 2.
2. ව්යාධි සූත්රය
22. මේ සූත්රය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
“මහණෙනි, පිණෙන් බිය නොවව්, යම් මේ පින් වෙද්ද, මහණෙනි, ඉෂ්ටවූ කැමතිවූ ප්රියවූ මනවඩන්නාවූ සැපයට මේ නමෙකි. මහණෙනි, මම දීර්ඝ කාලයක් මුළුල්ලෙහි කරන ලද්දාවූ (දානාදී) පින්වල නැවත නැවත විඳින ලද්දාවූ ඉෂ්ටවූ කැමතිවූ ප්රියවූ මනාපවූ විපාක දනිමි. සත්අවුරුද්දක් මෙත් සිත වඩා නැසෙන්නාවූද හටගන්නාවූද සත් මග කල්පයෙක්හි මේ (කාම) ලෝකයට නැවත නොපැමිණියෙමි. “මහණෙනි, කල්ප නැසෙනකල්හි ආභස්සර බ්රහ්මලෝකයට පැමිණියේ වෙමි. කල්පය හටගන්නා කල්හි හිස්වූ බඹ විමනෙක උපදිමි. මහණෙනි, ඒ බඹ ලොව මැඩසිටියාවූ (කිසි ගුණයකින්) නොමඩින ලද්දාවූ ඒකාන්තයෙන් අභිඥා ඥානයෙන් දක්නාසුළුවූ බ්රහ්මවූ මහාබ්රහ්මයෙක් වෙමි. අණෙහි පවත්වන්නේ වෙමි. “මහණෙනි සතිස්වරෙක අධිපතිවූ ශක්ර වීමි, නො එක්වර ධර්මයෙහි හැසිරෙන්නාවූ දැහැමින් රජවූ අධිපතිවූ ජය ගත්තාවූ දනවුවෙහි තහවුරු බවට පැමිණියාවූ සත්රුවනින් යුක්තවූ සක්විති රජවීමි, ප්රදේශරජය පිළිබඳ කථාවක් නැත. “මහණෙනි, ඒ මට මෙබඳු අදහසක් විය. මම යම් පිනකින් දැන් මෙබඳු මහත් ඍද්ධි ඇත්තෙක් වෙම්ද, මෙබදු මහත් ආනුභාව ඇත්තෙක් වෙම්ද, මාගේ කවර කුශල කර්මයක්හුගේ මේ ඵලයදෝ කීනම් කර්මයක්හුගේ විපාකය දෝ හෝයි. “මහණෙනි, ඒ මට මෙබඳු අදහසක් වීය:- මම මේ කාලයෙහි යම් පිනකින් මෙබඳු මහත් ඍද්ධි ඇත්තේවේද, මෙබඳු මහත් ආනුභාවය ඇත්තෙක් වෙම්ද, දානයගේද, (චක්ෂුරාදී ඉන්ද්රිය) දමනයන්ගේද, (ක්ලේශ) දමනයගේද (කායවාක්) සංයමයගේද (යන) ත්රිවිධ (කුශල) කර්මයන්ගේම මේ ඵලය වන්නේය. ත්රිවිධ (කුශලකර්මයන්ගේම මේ විපාකය වන්නේයයි”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“(යමෙක් වැඩකැමැත්තේද) හෙතෙම (විපුල ඵලය ඇතිබැවින් හෝ ප්රියමනාප ඵලය ඇති බැවින් මත්තෙහි උතුම්වූ අග්රවූ සැප විපාක ඇත්තාවූ පිනවන්නාවූ ත්රිවිධ කුශලයම රැස්කරන්නේය. දානයද විශුද්ධ ශීලයද මෙත් සිතද වඩන්නේය.
“පණ්ඩිතතෙමේ සුව අනුසස් ඇත්තාවූ (දානාදී) මේ තුන් සුසිරි දහම් වඩා නිදුක්වූ (ඒකාන්ත) සැපවූ (බඹ) ලොවෙහි උපදීයයි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
1. 3. 3.
3. උභො අර්ථසූත්රය
23. මේ සූත්රය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
“මහණෙනි, එක ධර්මයක් වඩනලද්දේ (නොහොත්) උපදවන ලද්දේ නැවත නැවත කරනලද්දේ මේ ආත්මයෙහිවූද පරලෙව්හිවූද දෙ වැඩ මනාව ගෙන පවතීද, කවර එක ධර්මයක්දයත් කුශල ධර්මයන්හි අප්රමාදයවේ. “මහණෙනි, මේ එක ධර්මය වනාහි වඩනලද්දේ හෝ උපදවන ලද්දේ නැවත නැවත කරණලද්දේ මේ ආත්ම බවයෙහි ඇතුළත්වූද පරලොව ඇතුළත්වූද දෙවැඩ මනාකොට ගෙන සිටියයි.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“සප්රාඥයෝ පින්කිරිය අතුරෙන් අප්රමාදයට පසසත්, අප්රමාදවූ පණ්ඩිතතෙම දෙවැඩ මනාකොටගණී,
මේ ආත්මබවෙහි යම් වැඩෙක් වේද, පරලෙව්හිවූ යම් වැඩෙක්වේද, දෙවැදෑරුම් අර්ථ ප්රතිලාභය හා නිර්වානයද හමුවීමෙන් නුවණ ඇත්තා පණ්ඩිතයයි කියනු ලැබේයයි”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
1. 3. 4.
4. පුඤ්ජ සූත්රය
24. මේ සූත්රය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
“මහණෙනි, මේ වෙපුල්ල පර්වතය යම්සේද, (මහ) කපක් මුලුල්ලෙහි නැවත නැවත දුවන්නාවූ නැවත නැවත සැරිසරන්නාවූ සත්වයෙකුගේ ඉදින් රැස්කරන්නෙක් වන්නේද, රැස්කරනලද (ඇට) ද නොවැනසෙන්නේද, එබඳු මහ ඇට ගොඩක් ඇට සමූහයෙක් ඇට රැසෙක් වන්නේ යයි”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“එක කල්පයෙක්හි එක් සත්වයෙකුගේ ඇටගොඩ පර්වතය සමවූ රැසෙක් වන්නේ යයි මහර්ෂීවූ බුදුන් වහන්සේ විසින් වදාරන ලදී.”
“ඒ මේ ඇටරැස වනාහි මගධ රට ගිරිබ්බජ නුවර ගිජ්ඣකූට පර්වතයට උතුරෙන් ඇති මහා වෙපුල්ල පර්වතය යයි කියන ලදී.”
“දුකද දුක ඉපදීමට හේතුවද දුක ඉක්ම වීමද දුක සංසිඳීමට පමුණුවන්නාවූ ආර්ය අෂ්ටාංගික මාර්ගයද (යන) චතුරාර්ය සත්යයන් යම් කලෙක්හි සම්යක් ප්රඥාවෙන් දකීද.”
(“ඒ ආර්ය සත්යයන් දුටු ස්රොතාපන්න පුද්ගල තෙමේ සත්වරක් කෙළවර කොටද ගොස් සියලු සංයෝජනයන් ක්ෂය කිරීමෙන් දුක කෙළවර කරන්නේ වේයයි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.