1. 3. 3.
3. උභො අර්ථසූත්‍රය
23. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
“මහණෙනි, එක ධර්මයක් වඩනලද්දේ (නොහොත්) උපදවන ලද්දේ නැවත නැවත කරනලද්දේ මේ ආත්මයෙහිවූද පරලෙව්හිවූද දෙ වැඩ මනාව ගෙන පවතීද, කවර එක ධර්මයක්දයත් කුශල ධර්මයන්හි අප්‍රමාදයවේ. “මහණෙනි, මේ එක ධර්මය වනාහි වඩනලද්දේ හෝ උපදවන ලද්දේ නැවත නැවත කරණලද්දේ මේ ආත්ම බවයෙහි ඇතුළත්වූද පරලොව ඇතුළත්වූද දෙවැඩ මනාකොට ගෙන සිටියයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“සප්‍රාඥයෝ පින්කිරිය අතුරෙන් අප්‍රමාදයට පසසත්, අප්‍රමාදවූ පණ්ඩිතතෙම දෙවැඩ මනාකොටගණී,
මේ ආත්මබවෙහි යම් වැඩෙක් වේද, පරලෙව්හිවූ යම් වැඩෙක්වේද, දෙවැදෑරුම් අර්ථ ප්‍රතිලාභය හා නිර්වානයද හමුවීමෙන් නුවණ ඇත්තා පණ්ඩිතයයි කියනු ලැබේයයි”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
1. 3. 4.
4. පුඤ්ජ සූත්‍රය
24. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
“මහණෙනි, මේ වෙපුල්ල පර්වතය යම්සේද, (මහ) කපක් මුලුල්ලෙහි නැවත නැවත දුවන්නාවූ නැවත නැවත සැරිසරන්නාවූ සත්වයෙකුගේ ඉදින් රැස්කරන්නෙක් වන්නේද, රැස්කරනලද (ඇට) ද නොවැනසෙන්නේද, එබඳු මහ ඇට ගොඩක් ඇට සමූහයෙක් ඇට රැසෙක් වන්නේ යයි”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“එක කල්පයෙක්හි එක් සත්වයෙකුගේ ඇටගොඩ පර්වතය සමවූ රැසෙක් වන්නේ යයි මහර්ෂීවූ බුදුන් වහන්සේ විසින් වදාරන ලදී.”
“ඒ මේ ඇටරැස වනාහි මගධ රට ගිරිබ්බජ නුවර ගිජ්ඣකූට පර්වතයට උතුරෙන් ඇති මහා වෙපුල්ල පර්වතය යයි කියන ලදී.”
“දුකද දුක ඉපදීමට හේතුවද දුක ඉක්ම වීමද දුක සංසිඳීමට පමුණුවන්නාවූ ආර්ය අෂ්ටාංගික මාර්ගයද (යන) චතුරාර්ය සත්‍යයන් යම් කලෙක්හි සම්‍යක් ප්‍රඥාවෙන් දකීද.”
(“ඒ ආර්ය සත්‍යයන් දුටු ස්‍රොතාපන්න පුද්ගල තෙමේ සත්වරක් කෙළවර කොටද ගොස් සියලු සංයෝජනයන් ක්ෂය කිරීමෙන් දුක කෙළවර කරන්නේ වේයයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
1. 3. 5.
5. සම්පජාන මුසාවාද සූත්‍රය
25. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
“මහණෙනි, (වාක් සංඛ්‍යාතවූ එක් ධර්මයක් ඉක්මවා (සිටි) ඒ පුද්ගලයා විසින් නොකළ හැකි පාපකර්මයක් මම නොකියමි. කවර එක ධර්මයෙක්ද යත්?” “මහණෙනි, යම් මේ දැන දැන මුසාවාද කීමෙක් වේද, (ඒ ධර්මයයි)
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“එකම ධර්මය ඉක්මවූ බොරු කියන සුලුවූ හරින ලද පරලොව ඇත්තාවූ සත්වයා විසින් නොකළ හැකි පවක් නැතැයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
1. 3. 6.
6. දාන සූත්‍රය
26. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
“මහණෙනි, මම යම් ප්‍රකාරයකින් දාන සංවිභාගයාගේ විපාකය එපරිද්දෙන් සත්වයෝ ඉදින් දන්නාහු නම් නොදී අනුභව නොකරන්නාහුය. ඔවුන්ගේ මසුරු මලද (නොහොත්) මසුරු බව හා දානයට අන්තරාය කරන්නාවූ ඊර්ෂ්‍යා (ලෝභ ද්වේෂාදී ක්ලෙශමලද සිත මැඩ නොම සිටින්නේය, ඔවුන්ගේ (සියල්ලට) පසුවූ ආලොපයෙක් අන්තිම බත් පිඬෙක් වන්නේද, ඉනිදු බෙදා නොදී අනුභව නොකරන්නාහුය, “ඉදින් ඔවුනට ප්‍රතිග්‍රාහකයෝ වන්නාහුනම් (දෙත්මය) “මහණෙනි, යම් හෙයකින් වනාහි යම්සේ මම දාන සංවිභාගයාගේ විපාකය දනිම්ද එපරිද්දෙන් සත්වයෝ නොදනිද්ද, එහෙයින් නොදී අනුභව කරති, මසුරු මලද ඔවුන්ගේ සිත මැඩගෙන සිටීයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“මහර්ෂීවූ බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද පරිද්දෙන් යම්සේ මහත් විපාක ඇත්තේ වේද, ඉදින් එසේ සත්වයෝ දාන සංවිභාගයාගේ විපාකය දන්නාහු නම්.
“විශේෂයෙන් ප්‍රසන්නවූ සිතින් (ඔහු) මසුරු මල දුරු කරන්නාහුය, යම් කෙනෙකුන්ට දෙන ලද්ද මහත් ඵල වේද, (ඒ) ආර්යයන්ට සුදුසු කාලයෙහි දෙන්නාහුය.
“බොහෝ ජනයාහට ආහාරද බොහෝ ආහාරද දක්ෂිණාව පිළිගන්නට සුදුසු ආර්යයන්ටදී මේ මිනිසත් බැවින් චුතවූ දායකයෝ ස්වර්ගයට යෙත්.
“මසුරු නොවූ ඔව්හුද දෙව්ලොවට ගියාහු එහි (සියලු) කාමසම්පත්තියෙන් යුක්තවූවාහු සතුටු වෙත් යයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.