1. 3. 1.
1. චිත්ත සූත්රය
21. මේ සූත්රය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
“මහණෙනි. මේ ලෝකයෙහි මම පහන් සිත් ඇති ඇතැම් පුද්ගලයෙකු ඉදින් මේ පුද්ගලතෙම මෙකල්හි කළුරිය කෙරේනම් යම්සේ ගෙනඑනලද (බරක් බිම) බහා තබන ලද්දේද එපරිද්දෙන් ස්වර්ගයෙහි වේයයි මෙසේ (තමාගේ) සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි. ඊට හේතු කවරේද? මහණෙනි; යම් හේතුවකින් ඔහුගේ සිත පැහැදුනේද (එහෙයිනි.) “මහණෙනි; සිත පැහැදීම හේතුකොට වනාහි මෙසේ මේ ලෝකයෙහි සමහර සත්වයෝ (කරජ) කය බිඳීමෙන් මරණින්මතු මනාගති ඇත්තාවූ සැපයෙන් අග්රවූ දෙව්ලොව උපදී’යයි.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. ඒ සූත්රයෙහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“බුදුන්වහන්සේ මේ ලෝකයෙහි පහන් සිතැති ඇතැම් පුද්ගලයෙකු දැන මේ කරුණ භික්ෂූන් සමීපයෙහි ප්රකාශ කළසේක.
“ඉදින් මෙසමයෙහි මේ පුද්ගලතෙම කළුරිය කෙරේ නම් සුගතියෙහි උපදින්නේය. යම්හෙයකින් ඒ පුද්ගලයාගේ සිත ප්රසන්නද (එහෙයිනි.)
“යම්සේ (බරක්) ගෙනවුත් (බිම) බහා තබන්නේද, එපරිද්දෙන්ම එබඳු පුද්ගලතෙමේ (කුශලකර්මය විසින් ස්වර්ගයෙහි තබන ලද්දේවේ, සිත පැහැදීම් හේතුවෙන් වනාහි සත්වයෝ සුගතියටයති’යයි”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
1. 3. 2.
2. ව්යාධි සූත්රය
22. මේ සූත්රය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
“මහණෙනි, පිණෙන් බිය නොවව්, යම් මේ පින් වෙද්ද, මහණෙනි, ඉෂ්ටවූ කැමතිවූ ප්රියවූ මනවඩන්නාවූ සැපයට මේ නමෙකි. මහණෙනි, මම දීර්ඝ කාලයක් මුළුල්ලෙහි කරන ලද්දාවූ (දානාදී) පින්වල නැවත නැවත විඳින ලද්දාවූ ඉෂ්ටවූ කැමතිවූ ප්රියවූ මනාපවූ විපාක දනිමි. සත්අවුරුද්දක් මෙත් සිත වඩා නැසෙන්නාවූද හටගන්නාවූද සත් මග කල්පයෙක්හි මේ (කාම) ලෝකයට නැවත නොපැමිණියෙමි. “මහණෙනි, කල්ප නැසෙනකල්හි ආභස්සර බ්රහ්මලෝකයට පැමිණියේ වෙමි. කල්පය හටගන්නා කල්හි හිස්වූ බඹ විමනෙක උපදිමි. මහණෙනි, ඒ බඹ ලොව මැඩසිටියාවූ (කිසි ගුණයකින්) නොමඩින ලද්දාවූ ඒකාන්තයෙන් අභිඥා ඥානයෙන් දක්නාසුළුවූ බ්රහ්මවූ මහාබ්රහ්මයෙක් වෙමි. අණෙහි පවත්වන්නේ වෙමි. “මහණෙනි සතිස්වරෙක අධිපතිවූ ශක්ර වීමි, නො එක්වර ධර්මයෙහි හැසිරෙන්නාවූ දැහැමින් රජවූ අධිපතිවූ ජය ගත්තාවූ දනවුවෙහි තහවුරු බවට පැමිණියාවූ සත්රුවනින් යුක්තවූ සක්විති රජවීමි, ප්රදේශරජය පිළිබඳ කථාවක් නැත. “මහණෙනි, ඒ මට මෙබඳු අදහසක් විය. මම යම් පිනකින් දැන් මෙබඳු මහත් ඍද්ධි ඇත්තෙක් වෙම්ද, මෙබදු මහත් ආනුභාව ඇත්තෙක් වෙම්ද, මාගේ කවර කුශල කර්මයක්හුගේ මේ ඵලයදෝ කීනම් කර්මයක්හුගේ විපාකය දෝ හෝයි. “මහණෙනි, ඒ මට මෙබඳු අදහසක් වීය:- මම මේ කාලයෙහි යම් පිනකින් මෙබඳු මහත් ඍද්ධි ඇත්තේවේද, මෙබඳු මහත් ආනුභාවය ඇත්තෙක් වෙම්ද, දානයගේද, (චක්ෂුරාදී ඉන්ද්රිය) දමනයන්ගේද, (ක්ලේශ) දමනයගේද (කායවාක්) සංයමයගේද (යන) ත්රිවිධ (කුශල) කර්මයන්ගේම මේ ඵලය වන්නේය. ත්රිවිධ (කුශලකර්මයන්ගේම මේ විපාකය වන්නේයයි”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“(යමෙක් වැඩකැමැත්තේද) හෙතෙම (විපුල ඵලය ඇතිබැවින් හෝ ප්රියමනාප ඵලය ඇති බැවින් මත්තෙහි උතුම්වූ අග්රවූ සැප විපාක ඇත්තාවූ පිනවන්නාවූ ත්රිවිධ කුශලයම රැස්කරන්නේය. දානයද විශුද්ධ ශීලයද මෙත් සිතද වඩන්නේය.
“පණ්ඩිතතෙමේ සුව අනුසස් ඇත්තාවූ (දානාදී) මේ තුන් සුසිරි දහම් වඩා නිදුක්වූ (ඒකාන්ත) සැපවූ (බඹ) ලොවෙහි උපදීයයි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.