1. 2. 9.
9. සංඝසාමග්ගි සූත්‍රය
19. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, (සත්ව) ලෝකයෙහි එක් (කුශල) ධර්මයෙක් උපදින්නේ මහජනයාට වැඩපිණිස බොහෝ දෙනාට සුවපිණිස බොහෝදෙනාට අර්ථ පිණිස දෙවිමිනිසුන්ට හිත පිණිස සුව පිණිස උපදී, කවර එක ධර්මයෙක්දයත්, සංඝයාගේ සමගි බවය. “මහණෙනි, සංඝයා වනාහි සමගිවීම නිමිතිකොට ඔවුනොවුන්ගේ විවාදයෝද, නොමවෙත්, ඔවුනොවුන්ගේ පිරිහෙලා බිණීම්ද නොවෙත්, ගැරහීම්ද නොවෙත්, නෙරපීම්ද නොවෙත්, ඒ සංඝසාමග්‍රිය නිමිතිකොට (තෙරුවන් කෙරෙහි) පහන් නොවූවෝද පහදිත්, ප්‍රසන්නවූවන්ගේ පැහැදීම වැඩියක්ම වේයයි.”
“මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “සංඝයාගේ සමගියද සමගිවූවන්ගේ (සමගිය අනුමෝදන්වීමෙන්) අනුබලදීමද සැපය, සමගියෙහි ඇලුණාවූ ධර්මයෙහි සිටියාවූ (පුද්ගලතෙම) රහත් බැවින් හෝ නිවනින් නොපිරිහෙයි, සංඝයා සමගිකොට (ආයුෂ්කල්පය මුලුල්ලෙහි ස්වර්ගයෙහි සතුටුවේයයි”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
1. 2. 10.
10. දුට්ඨ පුද්ගල සූත්‍රය
20. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, මේ ලෝකයෙහි (ද්වේෂයෙන්) ප්‍රදූෂ්‍යවූ සිත් ඇත්තාවූ එක්තරා සත්වයකු (මෙසේ) සිතින් සිත පිරිසිඳ ඉදින් මෙකල්හි මේ පුද්ගලතෙම කළුරිය කරන්නේ නම් ගෙන එනලද බඩුවක් බිම බහා තබන්නේ යම්සේද එසේ නිරයෙහි (උපදී) යයි දනිමි. ඊට හේතු කවරේද, මහණෙනි, යම්හෙයකින් ඔහුගේ සිත දූෂ්‍යවූයේද එහෙයිනි. මහණෙනි, සිත් අතිසයින් දූෂ්‍යවීම හේතුකොට වනාහි මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ දුකට පිහිටවූ නපුරු සේවැටෙන්නාවූ නරකයෙහි උපදිත්යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “බුදුරජාණන් වන්සේ මේ ලෝකයෙහි අතිශයින් දූෂ්‍යවූ සිත් ඇති ඇතැම් පුද්ගලයෙකු දැන භික්ෂූන්ගේ සමීපයෙහි මේ අර්ථය ප්‍රකාශ කළසේක.
3. “ඉදින් මෙකල්හි මේ පුද්ගලයා කළුරිය කරන්නේ නම් නරකයෙහි උපදින්නේය, යම්හෙයකින් ඔහුගේ සිත (ද්වේෂයෙන්) අතිසයින් දූෂිතවීද (එහෙයිනි.)
4. “යම්සේ (බඩුවක්) ගෙනවුත් (බිම) බහාතබන්නේද, එපරිද්දෙන්ම එබඳු පුද්ගලතෙම සිත අතිසයින් දූෂ්‍යවීම් හේතුවෙන් වනාහි සත්වයෝ දුගතියට යෙතියි”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
බහුපකාර වර්ගය නිමි.
එහි උද්දානය:
මෝහය, ක්‍රෝධය, මක්ඛය, විජ්ජා (අවිද්‍යා), තණ්හා, ශෛක්ෂ සූත්‍ර දෙක, භේදය, සාමග්ගිය සහ පුද්ගලයා ද යන මොවුහු දෙවන වර්ගය යැයි කියනු ලැබේ.
3. චිත්ත වර්ගය
1. 3. 1.
1. චිත්ත සූත්‍රය
21. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
“මහණෙනි. මේ ලෝකයෙහි මම පහන් සිත් ඇති ඇතැම් පුද්ගලයෙකු ඉදින් මේ පුද්ගලතෙම මෙකල්හි කළුරිය කෙරේනම් යම්සේ ගෙනඑනලද (බරක් බිම) බහා තබන ලද්දේද එපරිද්දෙන් ස්වර්ගයෙහි වේයයි මෙසේ (තමාගේ) සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි. ඊට හේතු කවරේද? මහණෙනි; යම් හේතුවකින් ඔහුගේ සිත පැහැදුනේද (එහෙයිනි.) “මහණෙනි; සිත පැහැදීම හේතුකොට වනාහි මෙසේ මේ ලෝකයෙහි සමහර සත්වයෝ (කරජ) කය බිඳීමෙන් මරණින්මතු මනාගති ඇත්තාවූ සැපයෙන් අග්‍රවූ දෙව්ලොව උපදී’යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. ඒ සූත්‍රයෙහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“බුදුන්වහන්සේ මේ ලෝකයෙහි පහන් සිතැති ඇතැම් පුද්ගලයෙකු දැන මේ කරුණ භික්ෂූන් සමීපයෙහි ප්‍රකාශ කළසේක.
“ඉදින් මෙසමයෙහි මේ පුද්ගලතෙම කළුරිය කෙරේ නම් සුගතියෙහි උපදින්නේය. යම්හෙයකින් ඒ පුද්ගලයාගේ සිත ප්‍රසන්නද (එහෙයිනි.)
“යම්සේ (බරක්) ගෙනවුත් (බිම) බහා තබන්නේද, එපරිද්දෙන්ම එබඳු පුද්ගලතෙමේ (කුශලකර්මය විසින් ස්වර්ගයෙහි තබන ලද්දේවේ, සිත පැහැදීම් හේතුවෙන් වනාහි සත්වයෝ සුගතියටයති’යයි”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.