1. 2. 7.
7. බහුපකාරමිත්ත සූත්රය
17. මෙය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, මේ කල්යාණ මිත්රයන් ඇතිබව යම්සේද නොපැමිණි රහත් බව ඇති නිරුත්තරවූ යොගයන්ගෙන් උපද්රව නැති රහත් බව පතමින් වසන්නාවූ ශෛක්ෂ භික්ෂුවට මෙසේ බොහෝ උපකාරවූ බැහැර කරුණැයි කොට අන් එක් කරුණකුදු මම නොමදකිමි. “මහණෙනි, කලණ මිතුරන් ඇත්තේ අකුසල් දුරුකරයි. කුසල් වඩා යයි.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:-
2. “යම් මහණෙක් තෙම කලණ මිතුරන් ඇත්තේ වේද, ගුරුන් කෙරෙහි බුහුමන් බහුලකොට ඇත්තේවේද, සුවච වේද, ගෞරවයෙන් යුක්තවේද, මිතුරන්ගේ (අවවාද) වචනය කරන්නාවූ සම්යක් ප්රඥා ඇත්තාවූ සිහියෙන් යුක්තවූ (ඒ මහණතෙම) පිළිවෙළින් සියලු (දස) සංයෝජනයන්ගේ ක්ෂයවූ රහත්බවට පැමිණෙන්නේ යයි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
1. 2. 8.
8. සංඝභෙද සූත්රය
18. මෙය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, ලෝකයෙහි එකම (මහාසාවද්ය අකුශල) ධර්මයෙක් උපදින්නේ බොහෝ දෙනාට අවැඩ පිණිස බොහෝ දෙනාට නොසැප පිණිස බොහෝ දෙනාට අනර්ථය පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස උපදී. කවර එක් ධර්මයෙක්දයත්? සංඝ භෙදයවේ, “මහණෙනි, සංඝයා වනාහි භෙදවීම නිමිතිකොට ඔවුනොවුන්ගේ විවාදයෝද වෙත්. එකිනෙකාගේ (භය ඉපදවීම් වශයෙන් තර්ජනයෝද වෙත්, ඔවුනොවුන්ගේ පිරිහෙලා කියන ගර්හාවෝද වෙත්. ඔවුනොවුන්ගේ (සංඝයාගෙන් බැහැර කිරීම්ද) වෙත්. ඒ සංඝ භෙදය නිමිතිකොට නොපැහැදුනාහුද නොපහදිත් පැහැදුනාවූද සමහරුන්ගේ පැහැදීමේ වෙනස් බව යයි.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:-
2. “සංඝ භෙද කරන තැනැත්තේ අපායෙහි උපදින්නට සුදුස්සෙක් වන්නේය. අවීචිමහ නිරයෙහි උපදින්නේ වේ, (අන්තර) කල්පයක් සිටින්නේවේ. (සංඝභෙදයයි කියනලද) වර්ගයෙහි ඇලුනාවූ අධර්මයෙහි පිහිටියාවූ (ඒ පුද්ගල තෙමේ) හිතයෙන් (නොහොත්) අර්හත් ඵලයෙන් හෝ නිර්වානයෙන් පිරිහෙයි. සමගි සංඝයා භෙදකොට (අවීචි) මහා නිරයෙහි (ආයුෂ කල්පයක් මුළුල්ලෙහි පැසේ යයි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
1. 2. 9.
9. සංඝසාමග්ගි සූත්රය
19. මෙය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, (සත්ව) ලෝකයෙහි එක් (කුශල) ධර්මයෙක් උපදින්නේ මහජනයාට වැඩපිණිස බොහෝ දෙනාට සුවපිණිස බොහෝදෙනාට අර්ථ පිණිස දෙවිමිනිසුන්ට හිත පිණිස සුව පිණිස උපදී, කවර එක ධර්මයෙක්දයත්, සංඝයාගේ සමගි බවය. “මහණෙනි, සංඝයා වනාහි සමගිවීම නිමිතිකොට ඔවුනොවුන්ගේ විවාදයෝද, නොමවෙත්, ඔවුනොවුන්ගේ පිරිහෙලා බිණීම්ද නොවෙත්, ගැරහීම්ද නොවෙත්, නෙරපීම්ද නොවෙත්, ඒ සංඝසාමග්රිය නිමිතිකොට (තෙරුවන් කෙරෙහි) පහන් නොවූවෝද පහදිත්, ප්රසන්නවූවන්ගේ පැහැදීම වැඩියක්ම වේයයි.”
“මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “සංඝයාගේ සමගියද සමගිවූවන්ගේ (සමගිය අනුමෝදන්වීමෙන්) අනුබලදීමද සැපය, සමගියෙහි ඇලුණාවූ ධර්මයෙහි සිටියාවූ (පුද්ගලතෙම) රහත් බැවින් හෝ නිවනින් නොපිරිහෙයි, සංඝයා සමගිකොට (ආයුෂ්කල්පය මුලුල්ලෙහි ස්වර්ගයෙහි සතුටුවේයයි”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
1. 2. 10.
10. දුට්ඨ පුද්ගල සූත්රය
20. මෙය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, මේ ලෝකයෙහි (ද්වේෂයෙන්) ප්රදූෂ්යවූ සිත් ඇත්තාවූ එක්තරා සත්වයකු (මෙසේ) සිතින් සිත පිරිසිඳ ඉදින් මෙකල්හි මේ පුද්ගලතෙම කළුරිය කරන්නේ නම් ගෙන එනලද බඩුවක් බිම බහා තබන්නේ යම්සේද එසේ නිරයෙහි (උපදී) යයි දනිමි. ඊට හේතු කවරේද, මහණෙනි, යම්හෙයකින් ඔහුගේ සිත දූෂ්යවූයේද එහෙයිනි. මහණෙනි, සිත් අතිසයින් දූෂ්යවීම හේතුකොට වනාහි මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ දුකට පිහිටවූ නපුරු සේවැටෙන්නාවූ නරකයෙහි උපදිත්යයි.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “බුදුරජාණන් වන්සේ මේ ලෝකයෙහි අතිශයින් දූෂ්යවූ සිත් ඇති ඇතැම් පුද්ගලයෙකු දැන භික්ෂූන්ගේ සමීපයෙහි මේ අර්ථය ප්රකාශ කළසේක.
3. “ඉදින් මෙකල්හි මේ පුද්ගලයා කළුරිය කරන්නේ නම් නරකයෙහි උපදින්නේය, යම්හෙයකින් ඔහුගේ සිත (ද්වේෂයෙන්) අතිසයින් දූෂිතවීද (එහෙයිනි.)