1. 2. 5.
5. තණ්හාසඤ්ඤොජන සූත්රය
15. මෙය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, මේ සංයෝජනයකින් (බැම්මකින්) බැඳුණු සත්වයෝ බොහො කලක් මුලුල්ලෙහි (සසර ඔබිනොබ) දුවද්ද, සැරිසරද්ද, මහණෙනි, මේ තෘෂ්ණා සංයෝජනය යම්සේද, (එබඳු) අන් එක සංයෝජනයකුදු මම නොම දකිමි. “මහණෙනි, තෘෂ්ණා බන්ධනයෙන් බැඳුණු සත්වයෝ වනාහි බොහෝ කලක් මුලුල්ලෙහි දුවත්, හැසිරෙත්යයි”
“මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “බොහෝ කලක් මුලුල්ලෙහි සැරිසරන්නාවූ සත්වතෙමේ තෘෂ්ණාව යහළුකොට ඇත්තේය. මේ මිනිසත්බවද වර්තමාන ආත්මභාවය හා අනාගතාත්මභාවයද එබඳු අන්යාත්මභාවයද ඇත්තාවූ සසර නොඉක්මවයි.
3. “මෙසේ දුඃඛයට මූලකාරණයවූ තෘෂ්ණාව දෝෂ වශයෙන් දැන (නොහොත්) සසර නොඉක්මවන දෝෂය දැන තෘෂ්ණාවද සසර දුකට ප්රමාණ කාරණයයි දැන පහවූ තෘෂ්ණාව ඇත්තාවූ මතු ප්රතිසන්ධිය නොගන්නාවූ සිහි ඇත්තාවූ භික්ෂුතෙම පිරිනිවන් පාන්නේයයි”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
1. 2. 6.
6. බහුපකාර මනසිකාර සූත්රය
16. මෙය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, මේ නුවණින් මෙනෙහි කිරීම යම් ප්රකාරයකින්වේද, මහණෙනි, නොපැමිණි අර්හත්ඵලය ඇත්තාවූ ශ්රේෂ්ඨවූ නිර්භයවූ (අර්හත් ඵලය) පතමින් වසන්නාවූ ශෛක්ෂ (මතුමාර්ග ඵලයන් පිණිස හික්මෙන්නාවූ සෝවාන්) මහණහට මෙසේ බොහෝ උපකාරවූ තමාගේ සන්තානයෙහි උපන් කාරණයයි. මෙසේ කොට අන් එකද කාරණයක් නොම දකිමි. මහණෙනි, නුවණින් මෙනෙහි කරණු යේ අකුසල් පහ කෙරෙයි, කුසල් වඩායයි.”
භාග්යවතුන් වහන්සේ මේ අර්ථය වදාළසේක. එහි මේ කරුණ මෙසේ කියනු ලැබේ.
2. “ශෛක්ෂ භික්ෂුවට උතුම් රහත්බවට පැමිණීම පිණිස නුවණින් මෙනෙහි කිරීම බොහෝ උපකාරවූ ස්වභාව ධර්මයෙකි. එසේ (උපකාරවූ) අනික් ධර්මයෙක් නැත. නුවණින් වීර්යය කරන්නාවූ මහණතෙම දුක් ක්ෂය කිරීමවූ නිවණට පැමිණෙන්නේයයි”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
1. 2. 7.
7. බහුපකාරමිත්ත සූත්රය
17. මෙය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, මේ කල්යාණ මිත්රයන් ඇතිබව යම්සේද නොපැමිණි රහත් බව ඇති නිරුත්තරවූ යොගයන්ගෙන් උපද්රව නැති රහත් බව පතමින් වසන්නාවූ ශෛක්ෂ භික්ෂුවට මෙසේ බොහෝ උපකාරවූ බැහැර කරුණැයි කොට අන් එක් කරුණකුදු මම නොමදකිමි. “මහණෙනි, කලණ මිතුරන් ඇත්තේ අකුසල් දුරුකරයි. කුසල් වඩා යයි.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:-
2. “යම් මහණෙක් තෙම කලණ මිතුරන් ඇත්තේ වේද, ගුරුන් කෙරෙහි බුහුමන් බහුලකොට ඇත්තේවේද, සුවච වේද, ගෞරවයෙන් යුක්තවේද, මිතුරන්ගේ (අවවාද) වචනය කරන්නාවූ සම්යක් ප්රඥා ඇත්තාවූ සිහියෙන් යුක්තවූ (ඒ මහණතෙම) පිළිවෙළින් සියලු (දස) සංයෝජනයන්ගේ ක්ෂයවූ රහත්බවට පැමිණෙන්නේ යයි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
1. 2. 8.
8. සංඝභෙද සූත්රය
18. මෙය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, ලෝකයෙහි එකම (මහාසාවද්ය අකුශල) ධර්මයෙක් උපදින්නේ බොහෝ දෙනාට අවැඩ පිණිස බොහෝ දෙනාට නොසැප පිණිස බොහෝ දෙනාට අනර්ථය පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස උපදී. කවර එක් ධර්මයෙක්දයත්? සංඝ භෙදයවේ, “මහණෙනි, සංඝයා වනාහි භෙදවීම නිමිතිකොට ඔවුනොවුන්ගේ විවාදයෝද වෙත්. එකිනෙකාගේ (භය ඉපදවීම් වශයෙන් තර්ජනයෝද වෙත්, ඔවුනොවුන්ගේ පිරිහෙලා කියන ගර්හාවෝද වෙත්. ඔවුනොවුන්ගේ (සංඝයාගෙන් බැහැර කිරීම්ද) වෙත්. ඒ සංඝ භෙදය නිමිතිකොට නොපැහැදුනාහුද නොපහදිත් පැහැදුනාවූද සමහරුන්ගේ පැහැදීමේ වෙනස් බව යයි.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:-
2. “සංඝ භෙද කරන තැනැත්තේ අපායෙහි උපදින්නට සුදුස්සෙක් වන්නේය. අවීචිමහ නිරයෙහි උපදින්නේ වේ, (අන්තර) කල්පයක් සිටින්නේවේ. (සංඝභෙදයයි කියනලද) වර්ගයෙහි ඇලුනාවූ අධර්මයෙහි පිහිටියාවූ (ඒ පුද්ගල තෙමේ) හිතයෙන් (නොහොත්) අර්හත් ඵලයෙන් හෝ නිර්වානයෙන් පිරිහෙයි. සමගි සංඝයා භෙදකොට (අවීචි) මහා නිරයෙහි (ආයුෂ කල්පයක් මුළුල්ලෙහි පැසේ යයි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.