1. 1. 10.
ද්වේෂ සූත්‍රය
10. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්මය වදාරන ලද්දේමය, කෙලෙස් නැසූ (බුදුන් වහන්සේ විසින්) වදාරන ලද ධර්මය මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, ද්වේෂය විශේෂයෙන් නොදන්නේ පිරිසිඳ නොදන්නේ එහි (තමාගේ) සිත අලවන්නේ පහ නොකරන්නේ දුඃඛ ක්ෂය සංඛ්‍යාත නිර්වාණය පිණිස සමර්ථ නොවේ. මහණෙනි, ද්වේෂයද විශේෂයෙන් දන්නේම පිරිසිඳ දන්නේ එහි සිත නොඅලවන්නේ පහකරන්නේ දුඃඛ ක්ෂයයි කියනලද නිවණට පැමිණීම පිණිස සමර්ථ වේ.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “යම් ද්වේෂයකින් දුෂ්ඨවූ සත්වයෝ දුගතියට යෙද්ද, විදසුන් නැණින් දක්නා සුලු පණ්ඩිතයෝ ඒ ද්වේෂය මනාව දැන පහකරත්. පහකොට කිසිකලෙකත් මේ (කාම) ලෝකයට නැවත (ඉපදීම් වශයෙන්) නොපැමිණෙතියි”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේයයි මා විසින් අසන ලද්දේයි.
පාටිභොග වර්ගය නිමි.
එහි උද්දානය:
රාග, ද්වේෂ, මෝහ, ක්‍රෝධ, මක්ඛ, මාන, සබ්බ, මාන, ලෝභ සහ ද්වේෂ යන සූත්‍ර දහය නැවත ප්‍රකාශ කරන ලදී. පළමු වර්ගයයි.
2. බහුපකාර වර්ගය
1. 2. 1.
1. මොහානභිජානන සූත්‍රය
11. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, (අරමුණු වල) මුළාවන ස්වභාවය විශේෂයෙන් නොදන්නේ පිරිසිඳ නොදන්නේ එහි සිත අලවන්නේ පහනොකරන්නේ දුඃඛ ක්ෂය යයි කියන ලද නිර්වාණය පිණිස අසමර්ථ වේ. “මහණෙනි, මෝහයද විශේෂයෙන් දන්නේම පිරිසිඳ දන්නේ එහි සිත නොඅලවන්නේ පහ කරන්නේ දුඃඛ ක්ෂය යයි කියන ලද නිවනට (පැමිණීම පිණිස) සමර්ථවේ”යයි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. ඒ සූත්‍රයෙහි මේ (ගාථා බන්ධනය) මෙසේ කියනු ලැබේ.
2. “යම් මෝහයකින් මුළාවූ සත්වයෝ දුගතියට යෙද්ද, පණ්ඩිතයෝ ඒ මෝහය මනාව දැන පහකරත්. පහකොට කිසිකලෙකත් මේ (කාම) ලෝකයට නැවත (ඉපදීම් වශයෙන්) නොපැමිණෙතියි”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
1. 2. 2.
2. කොධානභිජානන සූත්‍රය
12. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, ක්‍රෝධය විශේෂයෙන් නොදන්නේ පිරිසිඳ නොදන්නේ එහි සිත අලවන්නේ පහනොකරන්නේ නිර්වාණයට අසමර්ථ වේ. “මහණෙනි, ක්‍රෝධයද විශේෂයෙන් දන්නේම පිරිසිඳ දන්නේම එහි සිත නොඅලවන්නේම පහකරන්නේ නිර්වාණයට සමර්ථ වේයයි”
මේ අරුත භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “යම් ක්‍රෝධයකින් සිටියාවූ සත්වයෝ දුගතියට යෙද්ද, පණ්ඩිතයෝ ඒ ක්‍රෝධය මනාකොට දැන පහකෙරෙත්. පහකොට කිසිකලෙකත් මේ (කාම) ලෝකයට (ඉපදීම් වශයෙන්) නොපැමිණෙතියි”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.