9. පාප වර්ගය
1.(116) සුචරිත ධර්මයන්හි යුහුසුලු වන්නේය. අකුසලයෙන් සිත වළකන්නේය. (දානාදී කුශල කර්මය) සෙමෙන් කරන්නහුගේ සිත අකුශලයෙහි ඇලෙයි.
2.(117) පුරුෂතෙම ඉදින් අකුශල කර්මයක් කෙළේ නමුදු ඒ (අකුශල කර්මය) නැවත නැවත නොකරන්නේය. ඒ (අකුශල කර්මයෙහි) ආලයක් නොකරන්නේය. පව් රැස්වීම දුක්ය.
3.(118) පුරුෂයා ඉදින් පිනක් කරන්නේ වීනම් එය නැවත නැවතද කරන්නේය. ඒ කුශලයෙහි ආලය කරන්නේය. පින් රැස්වීම සුවය.
4.(119) යම්තාක් කල් අකුශල කර්මය (පව) විපාක නොදේද, ඒතාක් කල් පාපකාරී පුද්ගලතෙමේ පව් කරන්නේද යහපත දක්නේය. යම්කලෙක වනාහි ඔහු විසින් කරණ ලද පාප කර්මය විපාක දේද එකල්හි පව්කම් කළ පුද්ගලතෙම පාපයෙහි විපාක දක්නේය.
5.(120) යම්තාක් කල් කුශල කර්මය විපාක නොදේද, ඒතාක් කල් පාපකාරී පුද්ගල තෙමේද අකුශල විපාකවූ අවැඩ දක්නේය. යම්කලෙක වනාහි ඔහු විසින් කරණ ලද සුචරිතය විපාක දේද, එකල්හි කුශලකාරීවූ සත්පුරුෂතෙම ඉෂ්ටවිපාකයන් දක්නේය.
6.(121) ඒ (සුලුවූ අකුශල කර්මය) (විපාකදීම වශයෙන්) නොඑන්නේයයි අකුශල කර්මය සුලුකොට නොසිතන්නේය. (අකුශල කර්මය ස්වල්පයයි නොසිතන්නේය) (එක එක) දිය බිඳ වැටීමෙන් දිය බඳුන යම්සේ පිරේද, එමෙන්ම මඳ මඳ කොටද පව් රැස් කරන අඥානතෙම අකුශලයෙන් පිරෙයි.
7.(122) ඒ (සුලු කුශලය) (විපාකදීම් වශයෙන්) නොඑන්නේයයි කුශල කර්මය සුලුකොට නොසිතන්නේය. (කුශල කර්මය සුළුයයි නොසිතන්නේය) එක එක දිය බිඳ වැටීමෙන් කළය යම්සේ පිරේද, (එසේම) මඳ මඳ කොටද කුශල් රැස්කරන්නාවූ නුවණැත්තා කුශල කර්මයෙන් පිරෙන්නේය.