10. දණ්ඩ වර්ගය
1.(129) සියලු සත්වයෝම වධබන්ධනාදියට තැතිගන්නාහ. සියල්ලෝම මරණයට බියවෙති. තමා උපමාකොට හිංසා නොකරන්නේය. අනුන් ලවා හිංසා නොකරවන්නේය.
2.(130) සියලු සත්වයෝම වධබන්ධනාදියට බිය වෙති. සියල්ලන්ටම ජීවිතය ප්රියය. තමා උපමාකොට හිංසා නොකරන්නේය. අනුන් ලවාද හිංසා නොකරවන්නේය.
3.(131) යම් පුද්ගලයෙක් තමාහට සුව කැමතිවූයේ සුව කැමති සත්වයන් දණ්ඩනයෙන් පෙළාද, හෙතෙම පරලොව සුව නොලබන්නේය.
4.(132) යමෙක් තමහට සුව කැමතිවූයේ සුව කැමති සත්වයන් දඬුවමින් නොපෙළාද ඒ පුද්ගලතෙම පරලොව සුව ලබන්නේය.
5.(133) කිසිවකුට පරුෂ වචනයක් නොකියව. කියන ලද්දාවූ අන්යයෝ තට පෙරළා කියති. එසේම, එකටෙක කථාව දුක්ය. තට පෙරළා දඬුවම් ලැබෙයි.
6.(134) ඉදින් කැඩූ ලොහොතලියක් මෙන් තාගේ සිත නිශ්ශබ්ද කෙළෙහි නම් නිවණට පැමිණියා නම් වෙහි. තට පෙරළා එකටෙක කථා කිරීමක් නොවන්නේය.
7.(135) යම්සේ ගොපලුතෙම දඬුයෙන් හරකුන් තණ බිමට පමුණුවාද, එපරිද්දෙන්ම ජරාවද මරණයද යන දෙදෙන සත්වයන්ගේ ජීවිතය (මරණය කරා) ගෙන යන්නේය.
8.(136) තවද පව්කම් කරන්නාවූ අනුවණ තෙම එය (විපාක සහිත බව) නොදනියි. ඒ නුවණ නැත්තේ ස්වකීය පාපකර්මයන් නිසා ගින්නෙන් දනලද්දක්හු මෙන් තැවෙයි.
9.(137) යමෙක් දඬුවම් නොකළ යුතු, ද්වේෂ නොකරණ පුද්ගලයන් විෂයෙහි අපරාධ කෙරේද, හෙතෙම දශවිධ කාරණයන් අතුරෙන් එක්තරා කාරණයකට වහාම පැමිණෙන්නේය.
10.(138) දැඩිවූ කායික වේදනාවකට හෝ ධනහානියකට හෝ ශරීර භෙදයකට හෝ නැවත බලවත් රෝගයකට හෝ උන්මාදයට හෝ පැමිණෙන්නේය.
11.(139) රජුන් කෙරෙහි වන්නාවූ උවදුරකට හෝ දරුණුවූ අභ්යඛ්යානයකට හෝ නෑයන්ගේ විනාශයට හෝ භෝගයන්ගේ විනාශයට හෝ පැමිණෙන්නේය.
12.(140) ඔහුගේ ගෙවල් පාවක නම්වූ ගින්න දවයි. ඒ අඥාන පුද්ගලතෙම මරණින් මතු නරකට පැමිණෙන්නේය.
13.(141) තරණය නොකළ සංකා ඇති මිනිසා නිර්වස්ත්රව චරණය කිරීමෙන් හෝ ජටා දැරීමෙන් හෝ මඩ ගැල්වීමෙන් හෝ අහර නොවළඳා කරන තපසින් හෝ බිම සැතපීමෙන් හෝ ශරීරයෙහි දැලි ඉලීමෙන් හෝ උක්කුටුකයෙන් හිඳ කරන වීර්යයෙන් හෝ පිරිසිදු නොවේ.
14.(142) සැරසුනු පුද්ගල තෙමේද ඉදින් ධර්මයෙහි යෙදී පවතීද, ශාන්තද, දැමුනේද, නියතද, බ්රහ්මචාරීද, සියලු සතුන් කෙරෙහි දණ්ඩනය බහා තබා වෙසේද හෙතෙම බ්රාහ්මණයෙක්ය, ශ්රමණයෙක්ය, භික්ෂුවක්ය.