8. සහස්ස වර්ගය
1.(100) අනර්ථ පදයෙන් යුක්තවූ වචන දහසක් නමුදු උතුම් නොවෙති. යමක් අසා පුද්ගලතෙම සන්සිඳේද එබඳු වූ අර්ථ (සාධක) සිදුකරන එක පදයකුදු උතුම්ය.
2.(101) අනර්ථ පදයෙන් යුක්තවූ (නොහොත් අවැඩ කොටසින් යුක්ත වූ) ගාථාවෝ ඉදින් දහසක් නමුදු උතුම් නොවෙති. යම් එක ගාථා පදයකුදු අසා පුද්ගල තෙමේ සන්සිඳේ නම් එබඳු වූ එක ගාථා පදය උතුම්ය.
3.(102) යම් පුද්ගලයෙක් තෙම ඉදින් අවැඩ කොටසින් යුක්තවූ ගාථා සියයක් කීයේ වී නමුදු (ඒ ගාථාවෝ උතුම් නොවෙති). යමෙක් යමක් අසා සන්සිඳේද එබඳු වූ එකම ධර්ම පදය උතුම්ය.
4.(103) යම් යෝධයෙක් දශ ලක්ෂයක් මිනිසුන් එකම යුද්ධයෙක්හි දිනුයේ වී නමුත් (හෙතෙම ජය ලද්දේ නම් නොවෙයි) එකම ආත්මය හෙවත් තමාම දිනුයේ වේද හෙතෙම ඒකාන්තයෙන් යුද්ධයෙහි දිනුවන්ට උතුම්ය.
5.(104) තමා දැමුණු, නිතර සංවරව හැසිරෙන පුරුෂයා, තමා ආත්මය දිනන ලද්දේ ඒකාන්තයෙන් උත්තමයි. යම් යම් අන්ය ප්රජාතොම දූ කෙළීම් ආදියෙන් දිනන්නීද, (ඒ දිනීම) උතුම් නොවෙයි.
6.(105) දෙවියෙක් ගාන්ධර්වයෙක් ඔව්හු හා සමග මාරයාද එබඳු සත්වයාගේ දිනීම පැරදීමක් නොකරන්නේය.
7.(106) මාසයක් මාසයක් පාසා දහසක් වියදම් කිරීමෙන් අවුරුදු සියයක් මුළුල්ලෙහි යමෙක් තෙම යාග කරන්නේ වඩන ලද සිත් ඇති එකම ආර්යයක්හු මොහොතකුදු පුදන්නේ වේද ඉදින් අවුරුදු සියයක් මුළුල්ලෙහි දෙන ලද යම් දානයක් ඇද්ද එයට වඩා ඒ පූජාව උතුමි.
8.(107) යම් පුරුෂයෙක් වනයෙහි ඉදින් අවුරුදු සියයක් මුළුල්ලෙහි ගිනි පූජාව කරන්නේද වඩනා ලද සිත් ඇති එක ආර්යය පුද්ගලයෙකු මොහොතකුත් පුදන්නේද අවුරුදු සියයක් මුළුල්ලෙහි කරණ ලද යම් ඒ ගිනි පූජාවට වඩා ඒ පූජාවම උතුම්ය.
9.(108) මේ ලෝකයෙහි පින් කිරීමෙහි අපෙක්ෂා ඇති පුද්ගල තෙම, යම්කිසි (කුඩා) දාන වස්තුවක් හෝ (අමුතු) මහ දනක් හෝ අවුරුද්දක් මුළුල්ලෙහි දුන්නේ නමුදු ඒ සියලු දානයම ආර්යයන් වැඳීමේ (කුශල චේතනාවෙන්) සතරින් කොටසටත් නොපැමිණෙයි.
10.(109) (නිතර සිල්වතුන්) වඳින සුළුවූ, (ගුණයෙන්) වැඩිහිටියන් පුදන්නාහට ආයුෂ (ශරීර) වර්ණ සැප බල යන මේ සතර ගුණයෝ වැඩෙති.