7. අරහන්ත වර්ගය
1.(90) ගොස් නිමවන ලද සංසාර මාර්ග ඇති ශොක නැති (ස්කන්ධාදී) සියලු ධර්මයෙහි නොඇලී (එයින් මිදුණු) සියලු කාය ග්‍රන්ථයන් (ගැට) ප්‍රහීණ කළාවූ ක්‍ෂීණාශ්‍රවයාහට (චෛතසික) පරිදාහයක් දැවිල්ලෙක් නැත්තේය.
2.(91) ස්මෘති සම්පන්නවූ (සිහිමත්) ක්‍ෂීණාශ්‍රවයෝ ව්‍යායාම කරන්නාහ. ඔහු ආලයෙහි (ගෙහි) නොඇලෙන්නාහ. ඔහු විලහැර යන්නාවූ හංසයන් මෙන් ආලයක් ආලයක් පාසා හරණාහුයයි (හෙවත් සියලු ආලයන් හරණාහුයි.)
3.(92) යම් (ක්‍ෂීණාශ්‍රව) කෙනෙකුන්ට (කුශලා කුශල) රැස් කිරීමෙක් (චීවරාදී සිව්පසස රැස්කිරීමෙක් වත්) නැද්ද යම් (ක්‍ෂීණාශ්‍රව) කෙනෙක් පිරිසිඳ දන්නා ලද භොජන ඇත්තාහුද, යම් (ක්‍ෂීණාශ්‍රව) කෙනෙකුන්ට සුඤ්ඤතවිමොක්ඛ (කිසිත් නැතැයි මිදීම) නම්වූද අනිමිත්ත විමොක්ඛ (අරමුණ නොගෙන මිදීම) නම්වූද අප්පණිහිත විමොක්ඛ (ආශාවක් නැති මිදීම) නම්වූද නිර්වාණය අරමුණු වේද ඒ ක්‍ෂීණාශ්‍රවයන්ගේ (උත්පත්ති) ගතිතොම ආකාශයෙහි පක්ෂීන් ගිය මග මෙන් නොදත හැක්කේය.
4.(93) යම් ක්‍ෂීණාශ්‍රවයෙකුට කාමාදී ආශ්‍රවයෝ ක්‍ෂයවූවාහුද කබලිංකාරාහාරයෙහි (සිඟු අහරෙහි) ද තෘෂ්ණාව දෘෂ්ටි වශයෙන් නොඇලුනේද, යම් ක්‍ෂීණාශ්‍රවයෙකුට සුඤ්ඤත විමොක්ඛ නම්වූද, අනිමිත්ත විමොක්‍ඛ නම්වූද අප්පණිහිත විමොක්ඛ නිර්වාණය අරමුණුවේද ඒ ක්‍ෂීණාශ්‍රවයාගේ පිය ආකාශයේ පක්ෂීන්ගේ පිය මෙන් නොදත හැක්කේයි.
5.(94) යම් ක්‍ෂීණාශ්‍රවයෙකුගේ ෂඞ්ඉන්ද්‍රියයන් දක්‍ෂ රියැදුරෙකු විසින් මනාකොට දමනය කරණ ලද අශ්වයන් මෙන් මනාකොට දැමුණේද ප්‍රහීණවූ (නවවිධි) මාන ඇති, ආශ්‍රව නැති, (අෂ්ටලොක ධර්මයෙන් නොසැලෙන හෙයින්) තාදීවූ (නොසැලෙන) ඔහුට දෙවියෝද කැමති වෙති.
6.(95) පොළොව හා සමවූ නුවර දොර හිඳුවන ලද කණුවක් බඳුවූ (අටලෝ දහමින් කම්පා නොවන බැවින්) තාදීවූ (නොසැලෙන) යහපත් ව්‍රත (වත්) ඇති යම් ක්‍ෂීණාශ්‍රවයෙක් විරුද්ධ නොවේද, පහවූ මඩ ඇති විලක් මෙන් ප්‍රසන්නවේද, ඒ ක්‍ෂීණාශ්‍රවයාහට සංසාරයෝ (ඉපදීම්) නොවන්නාහ.
7.(96) මනාකොට (තදංගාදී පංචවිධ විමුක්තියෙන්) විශේෂයෙන් මිදුනාවූ, අටලෝ දහමින් කම්පා නොවූ, සන්සුන්වූ, රහතුන්ගේ සිත කය වචනය යන තුන්දොරම ශාන්තය.
8.(97) යමෙක් (අනුන්ගේ බස්) නොඅදහාද, (බුදුන්ගේ විනා අන් ශාස්තෲවරයෙක් කෙරෙහි ඇදහිලි නැත්තේද) අත්ත (නොකළ) නම් වූ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කොට දත්තේද, (සංස්කාර) සන්ධිය සින්දේද, සින්දාවූ ප්‍රතිසන්ධ්‍යාවකාශ (පිළිසිඳීම් ඉඩ) ඇත්තාවූ වමනය කරණ ලද ආශා ඇත්තේද හෙතෙම ඒකාන්තයෙන් උත්තම පුරුෂ නම්වේ.
9.(98) ගමක හෝ වනයක හෝ වළතැනෙක හෝ ගොඩ තැනෙක හෝ යම් තැනෙක්හි රහත්හු වාසය කරත්ද ඒ භූමි ප්‍රදෙශය සිත්කලුය.
10.(99) අරණ්‍යයෝ සිත් අලවන්නාහ. යම් අරණ්‍යයෙක්හි මහජනතෙම නොඇලේද, (එබඳු අරණෙහි) පහවූ රාග ඇති රහත්හු (ක්‍ෂීණශ්‍රවයෝ) ඇලෙන්නාහ. ඒ රහත්හු වස්තුකාම ක්ලේශකාමයන් නොසොයන සුල්ලෝය.
අරහන්ත වර්ගය සත්වැනිය.
8. සහස්ස වර්ගය
1.(100) අනර්ථ පදයෙන් යුක්තවූ වචන දහසක් නමුදු උතුම් නොවෙති. යමක් අසා පුද්ගලතෙම සන්සිඳේද එබඳු වූ අර්ථ (සාධක) සිදුකරන එක පදයකුදු උතුම්ය.
2.(101) අනර්ථ පදයෙන් යුක්තවූ (නොහොත් අවැඩ කොටසින් යුක්ත වූ) ගාථාවෝ ඉදින් දහසක් නමුදු උතුම් නොවෙති. යම් එක ගාථා පදයකුදු අසා පුද්ගල තෙමේ සන්සිඳේ නම් එබඳු වූ එක ගාථා පදය උතුම්ය.
3.(102) යම් පුද්ගලයෙක් තෙම ඉදින් අවැඩ කොටසින් යුක්තවූ ගාථා සියයක් කීයේ වී නමුදු (ඒ ගාථාවෝ උතුම් නොවෙති). යමෙක් යමක් අසා සන්සිඳේද එබඳු වූ එකම ධර්ම පදය උතුම්ය.