4. පුෂ්ප වර්ගය
1.(44) (ආත්මභාව සංඛ්යාත වූ) මේ පෘථිවිය කවරෙක් දිනන්නේ ද? සතර අපාය ද දෙව්ලෝ සහිත වූ මේ මනුෂ්ය ලෝකය ද කවරෙක් දිනන්නේ ද? මනා කොට දෙසන ලද්දා වූ ධර්ම පදය (මල් කඩා රැස් කරන්නා වූ) මල්කරුවෙකු මලක් මෙන් කවරෙක් පරීක්ෂා කරන්නේ (හෙවත් ප්රතිවේධ කරන්නේ) ද?
2.(45) (සප්තවිධ) ශෛක්ෂ තෙමේ (හික්මෙන්නේ), (ආත්මභාව යයි කියන ලද) පෘථිවිය දිනන්නේය. සතර අපාය ද, දෙව්ලොව සහිත වූ මේ මනුෂ්ය ලෝකය ද දිනන්නේය. ශෛක්ෂ (හික්මිය යුතු) පුද්ගල තෙමේ මනා කොට දෙසන ලද්දා වූ ධර්ම පදය මල්කරුවෙකු මලක් මෙන් පරීක්ෂා කරන්නේ (හෙවත් ප්රතිවේධ කරන්නේ) ය.
3.(46) මේ කය පෙණපිඬක් වැනි යයි දැන, මිරිඟු වැනි යයි අවබෝධ කර ගන්නා වූ මහණ තෙමේ, මාරයාගේ (පංච) කාම ගුණයන් නමැති මල් සිඳ මාරයාට නොපෙනෙන (මෘත්යුරාජයාට නොපෙනෙන) නිවනට යන්නේය.
4.(47) මල් ම කඩා රැස් කරන්නා වූ, (පංචකාම ගුණයෙහි) තදින් ඇලුනු සිත් ඇති මනුෂ්යයා, මහ වතුරක් නිදන්නා වූ ගම් වැසි ජනයා (මුහුදට ගෙන යන්නාක්) මෙන් මාරයා (මරණය) පැහැරගෙන යන්නේය.
5.(48) මල් ම කඩා රැස් කරන්නා වූ, (පංචකාම ගුණයෙහි) තදින් ඇලුනු සිත් ඇති මනුෂ්යයා, කාමයන්හි තවම තෘප්තියට නොපැමිණ සිටියදීම මාරයා තමා වසඟයට ගන්නේය.
6.(49) යම්සේ බඹර තෙමේ මල ද වර්ණය ද ගන්ධය ද නොනසමින් (පුෂ්ප) රසය පමණක් ගෙන පියාඹා යයි ද, එපරිද්දෙන්ම මුනිවරයා ගමෙහි හැසිරෙන්නේය.
7.(50) අනුන්ගේ ඵරුෂ වචනයන් ගැන හෝ අනුන් විසින් කරන ලද හා නොකරන ලද දේ ගැන සොයා නොබැලිය යුතුය. තමා විසින් කරන ලද හා නොකරන ලද දේ ම බැලිය යුතුය.
8.(51) යම්සේ සිත්කලු වූ, මනා වූ පැහැය ඇති, එහෙත් සුවඳ රහිත වූ මලක් (සුවඳ නොපතුරුවයි) ද, එපරිද්දෙන්ම මනා කොට දෙසන ලද ධර්මය (එය) පිළිපදින්නේ නැති තැනැත්තාට සඵල නොවන්නේය.
9.(52) යම්සේ සිත්කලු වූ, මනා වූ පැහැය ඇති, සුවඳ සහිත වූ මලක් (සුවඳ පතුරුවයි) ද, එපරිද්දෙන්ම මනා කොට දෙසන ලද ධර්මය (එය) පිළිපදින්නා වූ තැනැත්තාට සඵල වන්නේය.
10.(53) යම්සේ මල් රාශියකින් බොහෝ මල් දම් (මාලා ගුණ) මාලාකරුවෙකු විසින් කෙරේද, එපරිද්දෙන්ම උපන්නා වූ මනුෂ්යයා විසින් බොහෝ කුසල් කටයුතුය.
11.(54) මල් සුවඳ උඩු සුළඟට නොයයි. සඳුන් සුවඳ හෝ තුවරලා සුවඳ හෝ දෑසමන් (මල්ලිකා) සුවඳ හෝ උඩු සුළඟට නොයයි. සත්පුරුෂයන්ගේ සුවඳ (ශීල සුවඳ) වනාහි උඩු සුළඟට ද යයි. සත්පුරුෂ තෙමේ සියලු දිශාවන්ට තම සුවඳ පතුරුවමින් පවතී.
12.(55) සඳුන් ද, තුවරලා ද, මානෙල් ද, සමන් ද යන මේ සුවඳ ජාතීන් අතර ශීල සුවඳ උත්තම වන්නේය.
13.(56) යම් මේ තුවරලා සහ සඳුන් සුවඳක් වේ ද, එය ස්වල්ප මාත්ර වූ සුවඳකි. ශීලවන්තයන්ගේ යම් සුවඳක් වේ ද, එය උතුම් වූයේ දෙවියන් අතර ද පවතී.
14.(57) සම්පූර්ණ වූ ශීලය ඇති, අප්රමාදව වසන්නා වූ, මනා වූ අවබෝධයෙන් කෙලෙසුන්ගෙන් මිදුණු ඒ රහතන් වහන්සේලාගේ මග මාරයා සොයා නොගන්නේය.
15.(58) යම් සේ මහ මගක දමන ලද කසළ ගොඩක, සුවඳවත් වූ සිත් ගන්නා වූ පියුමක් හට ගන්නේ ද.
16.(59) එසේ ම කසළ ගොඩක් බඳු වූ, අන්ධ වූ පෘථග්ජන ලෝකයා අතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්රාවක තෙමේ ප්රඥාවෙන් අතිශයින් බබළන්නේය.
පුෂ්ප වර්ගය සිවුවැන්නයි.
5. බාල වර්ගය
1.(60) නොනිදන්නාහට රාත්රිය දිගය. විඩා වූවහුට යොදුන දිගය. සද්ධර්මය නොදන්නාවූ බාලයන්ට සංසාරය දිගය.
2.(61) තමා හා එක්ව විසීමට නිසි කළ්යාණ මිතුරෙකු සොයන්නා වූ මහණ තෙමේ, තමහට වඩා උසස් හෝ තමා හා සමාන වූ හෝ මිතුරෙකු ඉදින් නොලද්දේ නම්, තනිව විසීම දැඩි කරන්නේය. අඥානයා කෙරෙහි සහායකත්වය නැත.
3.(62) මාගේ පුත්රයෝ ඇත, ධනය ඇතැයි මෙසේ පවසා බාලයා වෙහෙසෙයි. තමා පවා තමාට අයිති නැති කල, පුත්රයෝ කොයින්ද? ධනය කොයින්ද?
4.(63) යමෙක් තමා බාලයෙකු බව දනීද, ඒ කාරණයෙන් හෙතෙම පණ්ඩිතයෙකි. යම් බාලයෙක් තමා පණ්ඩිතයෙකු යැයි සිතයිද, හෙතෙම ඒකාන්තයෙන්ම බාලයෙක් යැයි කියනු ලැබේ.
5.(64) බාලයා ජීවිත කාලය පුරාම පණ්ඩිතයෙකු ඇසුරු කළත්, හැන්ද ව්යංජන රසය නොදන්නා සේ, හෙතෙම ධර්මය නොහඳුනයි.
6.(65) නුවණැත්තා මොහොතක් පණ්ඩිතයෙකු ඇසුරු කළත්, දිව ව්යංජන රසය වහා හඳුනාගන්නා සේ, හෙතෙම වහාම ධර්මය අවබෝධ කරගනී.