5. බාල වර්ගය
1.(60) නොනිදන්නාහට රාත්‍රිය දිගය. විඩා වූවහුට යොදුන දිගය. සද්ධර්මය නොදන්නාවූ බාලයන්ට සංසාරය දිගය.
2.(61) තමා හා එක්ව විසීමට නිසි කළ්‍යාණ මිතුරෙකු සොයන්නා වූ මහණ තෙමේ, තමහට වඩා උසස් හෝ තමා හා සමාන වූ හෝ මිතුරෙකු ඉදින් නොලද්දේ නම්, තනිව විසීම දැඩි කරන්නේය. අඥානයා කෙරෙහි සහායකත්වය නැත.
3.(62) මාගේ පුත්‍රයෝ ඇත, ධනය ඇතැයි මෙසේ පවසා බාලයා වෙහෙසෙයි. තමා පවා තමාට අයිති නැති කල, පුත්‍රයෝ කොයින්ද? ධනය කොයින්ද?
4.(63) යමෙක් තමා බාලයෙකු බව දනීද, ඒ කාරණයෙන් හෙතෙම පණ්ඩිතයෙකි. යම් බාලයෙක් තමා පණ්ඩිතයෙකු යැයි සිතයිද, හෙතෙම ඒකාන්තයෙන්ම බාලයෙක් යැයි කියනු ලැබේ.
5.(64) බාලයා ජීවිත කාලය පුරාම පණ්ඩිතයෙකු ඇසුරු කළත්, හැන්ද ව්‍යංජන රසය නොදන්නා සේ, හෙතෙම ධර්මය නොහඳුනයි.
6.(65) නුවණැත්තා මොහොතක් පණ්ඩිතයෙකු ඇසුරු කළත්, දිව ව්‍යංජන රසය වහා හඳුනාගන්නා සේ, හෙතෙම වහාම ධර්මය අවබෝධ කරගනී.
7.(66) අනුවණ වූ මෝඩ බාලයෝ, කටුක විපාක දෙන අකුසල් කර්ම කරමින් තමන්ට සතුරෙකු සේ හැසිරෙති.
8.(67) යම් කර්මයක් කොට පසුතැවිලි වේද, යම් කර්මයක අනිෂ්ට විපාකය කඳුළු පිරුණු මුහුණින් යුතුව හඬමින් අනුභව කරයිද, එවැනි අකුසල කර්මය කිරීම යහපත් නොවේ.
9.(68) යම් කර්මයක් කොට පසුතැවිලි නොවේද, යම් කර්මයක ඉෂ්ට විපාකය සතුටු සිතින් යුතුව අනුභව කරයිද, එවැනි කුසල කර්මය කිරීම මැනවි.
10.(69) පව්කම විපාක නොදෙන තාක් කල් බාලයා එය මීපැණි මෙන් මිහිරි යැයි සිතයි. යම් කලෙක පාපය විපාක දෙයිද, එකල්හි බාලයා දුකට පත් වෙයි.
11.(70) අඥාන පුද්ගලයා මසක් පාසා තණ අගින් ගත් ආහාර පමණක් අනුභව කරමින් තපස් රැක්කත්, හෙතෙම සත්‍යය අවබෝධ කළ උතුමන්ගේ සොළොස්වන කලාවටත් සම නොවේ.
12.(71) කළ පව්කම අලුත දොවා ගත් කිරි නොමිදෙන්නාක් මෙන් එකවරම විපාක නොදෙයි. අළුවලින් වැසුණු ගින්නක් මෙන් එය බාලයා දවමින් ඔහු පසුපස ලුහුබඳියි.
13.(72) බාලයාට ලැබෙන ප්‍රසිද්ධිය හෝ දැනුම ඔහුගේ විනාශය පිණිසම පවතී. එය බාලයාගේ ප්‍රඥාව නසාලමින් ඔහුගේ කුසල් පක්ෂය නැති කර දමයි.
14.(73) තමා කෙරෙහි නැති ගුණ පෙන්වා ගරුබුහුමන් ලැබීමටත්, භික්ෂූන් අතර මූලිකත්වය ලැබීමටත්, ආවාසයන්හි අධිපතිකම ලැබීමටත්, අන්‍ය කුලයන්ගෙන් පූජා ලැබීමටත් බාලයා කැමති වෙයි.
15.(74) ගිහියන් මෙන්ම පැවිද්දන් ද 'මේ සියල්ල මා විසින් කරන ලද්දක්' කියා සිතත්වායි ද, සියලු කටයුතුවලදී ඔවුන් මා අනුවම පවතිත්වායි ද බාලයා පතයි. මෙසේ බාලයාගේ අකුසල් විතර්කත්, තෘෂ්ණාවත්, මානයත් වැඩෙයි.
16.(75) ලාභ සත්කාර ලැබීමේ මග වෙනස්ය, නිවනට යන මග වෙනස්ය. මෙසේ මෙය මැනවින් වටහා ගන්නා බුද්ධ ශ්‍රාවක වූ භික්ෂුව සත්කාරයන්ට නොඇලී විවේකයම වැඩිය යුතුය.
පස්වන බාල වර්ගයයි.
6. පණ්ඩිත වර්ගය
1.(76) වරද දක්නා සුළුවූ, නිග්‍රහකොට කියන්නාවූ විදර්ශනා ඥානයෙන් යුක්තවූ යම් කළ්‍යාණ මිත්‍රයෙකු නිධානය (තිබූ තැන) කියන්නක්හු වැනි කොට දක්නේවේද එබඳු පණ්ඩිතයා සේවනය කරන්නේය. එබන්දා (පණ්ඩිතයා) සෙවුනාහට වැඩක්ම වන්නේය. අවැඩක් නොවන්නේය.