3. චිත්ත වර්ගය
1.(33) සැලෙන්නාවූ, එක් අරමුණක නොසිටින්නා (චපල) වූ නොරැක්ක හැක්කාවූ, (තුන්) දුසිරිතින් නොවැළකිය හැක්කාවූ, සිත ප්‍රාඥවූ පුරුෂතෙම හීදණ්ඩක් (ඇද මැඩ ඉදිකරන්නාවූ) හී වඩුවා මෙන්, සෘජු කරන්නේය.
2.(34) මේ සිත ජල (සංඛ්‍යාත) වාසස්ථානයෙන් නගන ලද්දාවූ ගොඩදමන ලද්දාවූ, මත්ස්‍යයකු මෙන් සැලෙන්නේය. ක්ලේශ වෘත්තය (මරගෙය) පහකටයුතුයි.
3.(35) නිග්‍රහ (දඬුවම්) කරන්ට නොපිළිවන්වූ, ලඝුවූ, යම් කැමති අරමුණක වැටෙනසුළුවූ, චිත්තයාගේ දමනය කිරීම මැනවි, සිත දමනය කරන ලද්දේ සුව ඵලවන්නේය.
4.(36) දක්නට නොපිළිවන්වූ, ඉතා සියුම්වූ, යම් කැමති අරමුණක් ගන්නාසුළුවූ සිත ප්‍රාඥතෙම රක්නේයි. සිත රක්නා ලද්දේ (ලොවී ලොව්තුරා) සැප ඵලවන්නේය.
5.(37) දුරට යන්නාවූ, හුදකලාවම පවත්නාවූ, ශරීරයක් නැත්තාවූ, (ශරීරය නැමැති) ගුහාවෙහි පවත්නාවූ, (හෙවත් හෘදය රූපය නිසා පවත්නාවූ) සිත යම්කෙනෙක් සංවරයෙහි පිහිටුවත්ද, ඔහු මාරබන්ධනයයි කියනලද ත්‍රෛභූමක වෘත්තයෙන් (මර බැම්මෙන්) මිදෙන්නාහුය.
6.(38) අනවස්ථිතවූ (නිතර චංචලවන) සිත් ඇති සද්ධර්මය නොදන්නාවූ, ඉපිලෙන සැදැහැ ඇත්තාහට ප්‍රඥාතොම නොපිරෙන්නීය.
7.(39) (රාගයෙන්) චංචලනොවූ සිත් ඇති, (ද්වේෂයෙන්) නොපහරණ ලද සිත් ඇති, (අර්හත් මාර්ගයෙන්) ප්‍රහීණකළ කුශලා කුශල ඇති ක්‍ෂීණාශ්‍රවයාහට කෙලෙසුන් කෙරෙන් භයක් නැත.
8.(40) මේ ශරීරය මැටි බඳුනක් වැනි කොට දැන, මේ (විදර්ශනා) චිත්තය නුවරක් මෙන් (කෙලෙස් සතුරන් විසින් නොපැරදවිය හැකි කොට) තබා, ප්‍රඥා නැමැති ආයුධයෙන් (ක්ලෙශ) මාරයා පහරණේය. දිනන ලද්ද (හෙවත් උපදවන ලද්දාවූ තරුණ විදර්ශනාව) ද රක්නේය. (සමාපත්තියෙහි) ආලය නොකරන්නේය.
9.(41) මේ කය නොබෝ කලකින්ම ඒකාන්තයෙන් පහවූ සිත් ඇත්තේ, ඉවත දමන ලදුයේ දිරාගිය දඬුකඩක් මෙන් පොළොව මත්තෙහි හෝනේය.
10.(42) සොරෙක්, සොරකු දැක ඕහට යමක් (අන්‍යව්‍යසනයක්) කෙරේද බද්ධවෛර ඇති එකෙක් එසේම තමාකෙරෙහි (බද්ධ) වෛර ඇති එකක්හු දැක, යම් ඒ අවැඩක් (ඕහට) කෙරේද, (එයට වඩා) වරදවා (දශඅකුශල කර්මපථයෙහි) පිහිටුවනලද සිත ඒ හේතුවෙන් ඔහු අතිශයින් ලාමක කරන්නේයි.
11.(43) ඒ කාරණය මවු නොකරන්නීය. පියාද නොකරන්නේය, අනික් නෑයෝද නොකරන්නාහුය. (දශකුශල කර්ම පථයෙහි) මනාකොට පිහිටුවන ලද සිත, ඒ හේතුවෙන් ඒ පුද්ගලයා අතිශයින් උත්තම කරන්නේය.
තුන්වන චිත්ත වර්ගයයි.
4. පුෂ්ප වර්ගය
1.(44) (ආත්මභාව සංඛ්‍යාත වූ) මේ පෘථිවිය කවරෙක් දිනන්නේ ද? සතර අපාය ද දෙව්ලෝ සහිත වූ මේ මනුෂ්‍ය ලෝකය ද කවරෙක් දිනන්නේ ද? මනා කොට දෙසන ලද්දා වූ ධර්ම පදය (මල් කඩා රැස් කරන්නා වූ) මල්කරුවෙකු මලක් මෙන් කවරෙක් පරීක්‍ෂා කරන්නේ (හෙවත් ප්‍රතිවේධ කරන්නේ) ද?
2.(45) (සප්තවිධ) ශෛක්‍ෂ තෙමේ (හික්මෙන්නේ), (ආත්මභාව යයි කියන ලද) පෘථිවිය දිනන්නේය. සතර අපාය ද, දෙව්ලොව සහිත වූ මේ මනුෂ්‍ය ලෝකය ද දිනන්නේය. ශෛක්‍ෂ (හික්මිය යුතු) පුද්ගල තෙමේ මනා කොට දෙසන ලද්දා වූ ධර්ම පදය මල්කරුවෙකු මලක් මෙන් පරීක්‍ෂා කරන්නේ (හෙවත් ප්‍රතිවේධ කරන්නේ) ය.
3.(46) මේ කය පෙණපිඬක් වැනි යයි දැන, මිරිඟු වැනි යයි අවබෝධ කර ගන්නා වූ මහණ තෙමේ, මාරයාගේ (පංච) කාම ගුණයන් නමැති මල් සිඳ මාරයාට නොපෙනෙන (මෘත්‍යුරාජයාට නොපෙනෙන) නිවනට යන්නේය.
4.(47) මල් ම කඩා රැස් කරන්නා වූ, (පංචකාම ගුණයෙහි) තදින් ඇලුනු සිත් ඇති මනුෂ්‍යයා, මහ වතුරක් නිදන්නා වූ ගම් වැසි ජනයා (මුහුදට ගෙන යන්නාක්) මෙන් මාරයා (මරණය) පැහැරගෙන යන්නේය.
5.(48) මල් ම කඩා රැස් කරන්නා වූ, (පංචකාම ගුණයෙහි) තදින් ඇලුනු සිත් ඇති මනුෂ්‍යයා, කාමයන්හි තවම තෘප්තියට නොපැමිණ සිටියදීම මාරයා තමා වසඟයට ගන්නේය.
6.(49) යම්සේ බඹර තෙමේ මල ද වර්ණය ද ගන්ධය ද නොනසමින් (පුෂ්ප) රසය පමණක් ගෙන පියාඹා යයි ද, එපරිද්දෙන්ම මුනිවරයා ගමෙහි හැසිරෙන්නේය.
7.(50) අනුන්ගේ ඵරුෂ වචනයන් ගැන හෝ අනුන් විසින් කරන ලද හා නොකරන ලද දේ ගැන සොයා නොබැලිය යුතුය. තමා විසින් කරන ලද හා නොකරන ලද දේ ම බැලිය යුතුය.
8.(51) යම්සේ සිත්කලු වූ, මනා වූ පැහැය ඇති, එහෙත් සුවඳ රහිත වූ මලක් (සුවඳ නොපතුරුවයි) ද, එපරිද්දෙන්ම මනා කොට දෙසන ලද ධර්මය (එය) පිළිපදින්නේ නැති තැනැත්තාට සඵල නොවන්නේය.
9.(52) යම්සේ සිත්කලු වූ, මනා වූ පැහැය ඇති, සුවඳ සහිත වූ මලක් (සුවඳ පතුරුවයි) ද, එපරිද්දෙන්ම මනා කොට දෙසන ලද ධර්මය (එය) පිළිපදින්නා වූ තැනැත්තාට සඵල වන්නේය.