25. භික්ඛු වර්ගය
1.(360) ඇසෙහි සංවරය මැනවි. කනෙහි සංවරය මැනවි. නාසයෙහි සංවරය මැනවි. දිවෙහි සංවරය මැනවි.
2.(361) කයෙහි සංවරය මැනවි. වචනයෙහි සංවරය මැනවි. සිතෙහි සංවරය මැනවි. සියලු ද්වාරයන්හි සංවරය මැනවි. සියලු තැන්හි සංවර වූ මහණතෙම සියලු සසර දුකින් මිදෙන්නේය.
3.(362) යමෙක් අතින් සංයතද, පයින් සංයතද, වචනයෙන් සංයතද, සංයත වූවන් අතර උත්තමද, තමා තුළම ඇලුනේද, සමාහිත වූයේද, හුදෙකලාව සන්තෝෂයෙන් වසන්නේද, ඔහු භික්ෂුවකැයි කියනු ලැබේ.
4.(363) යම් මහණෙක් මුඛයෙන් සංයතද, නුවණින් යුතුව මන්ත්රණයක් මෙන් කථා කරන්නේද, උඩඟු නොවූයේද, අර්ථය හා ධර්මය ප්රකාශ කරන්නේද, ඔහුගේ වචනය මධුර වේ.
5.(364) ධර්මය වාසස්ථාන කොට ඇති, ධර්මයෙහි ඇලුණු, ධර්මය නැවත නැවත මෙනෙහි කරන්නාවූ, ධර්මය අනුස්මරණය කරන මහණතෙම සද්ධර්මයෙන් නොපිරිහෙන්නේය.
6.(365) තමාට ලැබුණු දෙය අවමන් නොකළ යුතුය. අනුන්ගේ ලාභය පතමින් නොහැසිරිය යුතුය. අනුන්ගේ ලාභය පතන්නාවූ මහණතෙම සමාධියට පත් නොවේ.
7.(366) මහණතෙම ස්වල්පවූ ලාභයක් ඇත්තේ වුවද ඉදින් තම ලාභය අවමන් නොකෙරේ නම්, පිරිසිදු ජීවිකා ඇති නොපමා වූ ඔහුට දෙවියෝ පවා ප්රශංසා කරති.
8.(367) යමෙකුට නාම රූප දෙක්හි සර්වප්රකාරයෙන්ම මමත්වයක් නැද්ද, ඒ නාමරූප නැති කල්හි ශෝක නොකෙරේද, ඔහු ඒකාන්තයෙන්ම භික්ෂුවකැයි කියනු ලැබේ.
9.(368) යම් මහණෙක් මෛත්රී විහරණ ඇත්තේද, බුද්ධ ශාසනයෙහි ප්රසන්නද, ඔහු සංස්කාරයන් සංසිඳීමෙන් ලැබෙන ශාන්ත වූ නිවන් සුඛය ලබන්නේය.
10.(369) මහණ, මේ සිත නමැති නැවෙහි දිය ඉසින්න. ඉසින ලද නැව ඔබට සැහැල්ලු වනු ඇත. රාගය හා ද්වේෂය සිඳලන්න. එවිට ඔබ නිවනට පැමිණෙනු ඇත.
11.(370) පඤ්ච සංයෝජනයන් සිඳින්න, පඤ්ච සංයෝජනයන් අත්හරින්න, ඉන්ද්රියයන් පස්දෙනා මත්තෙහි වඩන්න. ඇලීම් පස්දෙනා ඉක්මවූ මහණතෙම ඕඝයෙන් එතෙර වූවෙකැයි කියනු ලැබේ.
12.(371) මහණ ධ්යාන වඩන්න, ප්රමාද නොවන්න. කාමගුණයෙහි ඔබේ සිත නොනමවන්න. ප්රමාද වී ලෝහ ගුලි නොගිලින්න. දැවෙමින් 'මේ දුකකි' යි පවසමින් නොහඬන්න.
13.(372) ප්රඥාව නැත්තාහට ධ්යානයක් නැත. ධ්යානයක් නැත්තාහට ප්රඥාවක් නැත. යමෙකු කෙරෙහි ධ්යානය හා ප්රඥාව යන දෙකම ඇද්ද, ඔහු නිවනට සමීපව සිටියි.
14.(373) ශුන්යාගාරයට පැමිණි, සන්සුන් සිත් ඇති, ධර්මය මැනවින් විදර්ශනා කරන්නාවූ මහණහට අමානුෂික වූ ලෝකෝත්තර ප්රීතියක් ඇතිවේ.
15.(374) යම් යම් විටෙක ස්කන්ධයන්ගේ ඇතිවීම හා නැතිවීම සම්මර්ශනය කෙරේද, එකල්හි ඔහු ඒ ප්රඥාවන්තයන්ගේ අමෘතය බඳු වූ ප්රීති ප්රමෝදය ලබයි.
16.(375) මෙහි නුවණැති මහණෙකුට ආරම්භයෙහි මේ දේවල් මූලික වේ: එනම් ඉන්ද්රිය සංවරය, සන්තෝෂය සහ ප්රාතිමොක්ෂ සංවර ශීලයයි.