26. බ්රාහ්මණ වර්ගය.
1.(383) බමුණ වීර්යයකොට (තෘෂ්ණා නැමැති) ජලප්රවාහය සිඳුව. වස්තුකාම ක්ලේශ කාමයන් දුරුකරව, බමුණ සංස්කාරයන්ගේ විනාශය දැන අකෘතඥයෙක් (නිවණ දුටුවෙක්) වන්නෙහි.
2.(384) ක්ෂීණාශ්රව බ්රාහ්මණතෙමේ යම් කලෙක්හි ධර්ම දෙකක්හි පරතෙරට පැමිණියේ වේද, එකල්හි (චතුරාර්ය සත්යයන් මනාකොට දන්නාවූ) ඒ ක්ෂීණාශ්රව බ්රාහ්මණයාගේ සියලු සංයෝගයෝ ක්ෂයට යන්නාහ.
3.(385) යමෙකුට එතෙරද මෙතෙරද නැද්ද, දෙතෙරද නැද්ද, පහවූ (ක්ලේශ) පීඩාඇති කෙලෙසුන් කෙරෙන් මිදුණු ඒ ක්ෂීණාශ්රවයා මම බ්රාහ්මණයයි කියමි.
4.(386) ධ්යානකරන්නාවූ රාගාදී රජස් නැත්තාවූ (වෙනෙහි හුදෙකලා) හුන්නාවූ කරණලද කෘත්ය ඇත්තාවූ ප්රහීන කරණලද ආශ්රව ඇත්තාවූ, උත්තමාර්ථයයි කියනලද අර්හත් ඵලයට පැමිණියාවූ ඒ ක්ෂීණාශ්රවයා මම බ්රාහ්මණයයි කියමි.
5.(387) හිරු දහවල්ම දිලිසෙන්නේය. සඳ රාත්රියෙහිම දිලිසෙන්නේය. රජතෙම ස්වර්ණාභරණයෙන් සැරසී සෙනගින් පිරිවරණ ලද්දේම දිලිසෙන්නේය. ක්ෂීණාශ්රවතෙම සමාපත්තියට සවෙදින්නේම දිලිසෙන්නේය. නැවත සියලු දිවා රාත්රියෙහි බුද්ධතෙම (පස්වැදෑරුම්) තේජසින් දිලිසෙන්නේය.
6.(388) බැහැර කරනලද පව් ඇත්තේදැයි බ්රාහ්මණයයි කියනුලැබේ. කාය විෂමාදියෙන් (දුරුව) සංසිඳුණු හෙයින් ශ්රමණයයි කියනු ලැබේ. තමාගේ (රාගාදී) මල පහකෙරේද එහෙයින් ප්රව්රජිතයයි කියනු ලැබේ.
7.(389) ක්ෂීණාශ්රව බ්රාහ්මණතෙම බමුණාට නොගසන්නේය. ක්ෂීණාශ්රව බ්රාහ්මණතෙම ඒ තමාට ගැසූ පුද්ගලයාට කෝප නොකරන්නේය. බමුණාට හිරිහැර කරන්නාට නින්දාවේවා. යමෙක් කෝපකරයිද, (ක්ෂීණාශ්රවයන්ට ගැසූ) තැනැත්තහුටත් වඩා, ඔහුට නින්දා වේවා.
8.(390) මේ එකටෙක නොකිරීම ක්ෂීණාශ්රව බ්රාහ්මණයාහට ස්වල්පමාත්රවූ අයහපතෙක් නොවේ. නොහොත් යම් කලෙක්හි (ක්රොධකරන්නාගේ සිතට) ප්රියවූ ක්රෝධ චිත්තයාගේ ඉපදීමෙන් යම් වැළැක්මෙක් ඇද්ද මේ ක්රෝධ නිග්රහය ක්ෂීණාශ්රව බ්රාහ්මණයාහට ස්වල්පමාත්රවූ නොඋතුම් බවක් නොවේ. යම් යම් කාරණයකින් ක්රොධචිත්තය නවතීද, ඒ ඒ කාරණයෙන් සියලු සංසාර දුක්ඛය සන්සිඳෙන්නේම වේ.
9.(391) යමකුට කයින් වන්නාවූද, වචනයෙන් වන්නාවූද, සිතින් වන්නාවූද, අකුශල කර්මයෙක් නැද්ද මේ තුන් තැනින් වසනලද දොර ඇති ඒ ක්ෂීණාශ්රවයා මම බ්රාහ්මණයයි කියමි.
10.(392) යමක්හු කෙරෙන් සම්මාසම්බුදුන් දෙසන ලද්දාවූ ධර්මය දන්නේවීනම් ඒ ආචාරීහු අග්නි ගෝත්රයට පූජාකළ බමුණකු මෙන් නමස්කාර කරන්නේය.