24. තණ්හා වර්ගය
1.(334) ප්‍රමාදයෙන් හැසිරෙන මිනිසාට තෘෂ්ණාතොම මාලුවා වැලමෙන් වැඩෙයි. හෙතෙම වනයෙහි ඵල කැමතිව රුකින් රුකකට පනින්නාවූ වඳුරකු මෙන් භවයෙන් භවයට පැමිණෙන්නේය. (පනින්නේය)
2.(335) ලාමකවූ විසත්තිකා නම්වූ තෘෂ්ණාතොම ලෝකයෙහි යම් පුද්ගලයකු මැඩ ගනීද ඒ පුද්ගලයාහට තෙමන ලද හොට තණ වැඩෙන්නාක් මෙන් ශෝකයෝ වඩනාහුයි.
3.(336) ලාමකවූ ඉක්මවිය නොහැකිවූ මේ තෘෂ්ණාව ලෝකයෙහි යම් පුද්ගලයෙක් වනාහි මැඩ පවත්වාද ඒ පුද්ගලයා කෙරෙන් ශෝකයෝ නෙළුම් පතින් ගිලිහෙන්නාවූ දිය බිඳුමෙන් ගිලිහෙන්නාහ.
4.(337) යම් පමණ කෙනෙක් මෙතැන්හි රැස්වූද ඒ තොප හැම දෙනාට වැඩක් වේවා, ඒ කාරණයෙන් හැම දෙනාට මේ අවවාදය කියමි. සුවඳ හොට මුලින් ප්‍රයෝජන ඇතියක්හු බොරු තණ කණින්නාක්මෙන් තෘෂ්ණාවගේ මුලකනින්නේ වේ. බට පඳුරක් බිඳගෙණ යන්නාවූ ගංවතුරක් මෙන් මාරතෙම තොප නැවත නැවත නොබිඳීවා.
5.(338) යම්සේ මුල උපද්‍රවයකට නොපැමිණිකල්හි (එහෙයින්ම) ස්ථිර කල්හි, (අගින්) කපන ලද වෘක්ෂය නැවතද හටගන්නේමවේ, එසේම තෘෂ්ණා සංඛ්‍යාත අනුසය සිඳ නොපියනලද කල්හි මේ දුක්ඛය නැවත නැවත උපදනේමැයි.
6.(339) යමෙකුට ශ්‍රොතස් සතිසකින් යුක්තවූ මනාපයෙහි (රූපාදී අරමුණෙහි) වැගිර පවත්නාවූ තෘෂ්ණාතොම බලවත්වේද, නුවණ නැති ඒ පුද්ගලයා රාගය ඇසුරුකළාවූ විතර්කයෝ බලවත්වූවාහු අපායට පමුණු වන්නාහුයි.
7.(340) (තෘෂ්ණා) ශ්‍රොතස්හු සැමතැනදීම වැගිරෙති. තෘෂ්ණලතා තොමෝ (සදොරින්) ඉපද සිටිනීය. එසේ උපන්නාවූ ඒ තෘෂ්ණා ලතාව වනාහි දැක (මාර්ග) ප්‍රඥාවෙන් මුල සිඳිව්.
8.(341) (රූපාදී අරමුණෙහි) විසිර පතළාවූද, (තෘෂ්ණා ස්නේහයෙන්) තෙමන ලද්දාවූද සොම්නස්හු සත්වයාහට වෙති. (ඒ තෘෂ්ණාවසික) සත්වයෝ සංත්‍රාස ඇත්තාහු සුව සොයන සුලුවෙති. එබඳුවූ සත්වයෝ ඒකාන්තයෙන් ජාති ජරාවට පැමිණෙන්නෝ නම් වෙති.
9.(342) තෘෂ්ණාව පිරිවරණ ලද්දාවූ සත්වයෝ ලුහුබඳනා ලද සාවකු මෙන් (බියව) ඒ මේ අත දුවත්. සංයෝජනයෙන් හා සංවේගයෙන් බැඳුණුහු සත්වයෝ බොහෝ කලක් නැවත නැවත දුකට පැමිණෙන්නාහ.
10.(343) තෘෂ්ණාව පිරිවරණ ලද්දාවූ සත්වයෝ ලුහු බඳනාලද සාවකු මෙන් ඒ මේ අත දුවත්. එහෙයින් තාමාහට නිර්වාණය (නොඇල්ම) කැමති වන්නාවූ මහණතෙම තෘෂ්ණාව දුරු කරන්නේය.
11.(344) යම් පුද්ගලයෙක් තෘෂ්ණා රහිත වූයේ තපොවනයෙහි ඇලුණේ, තෘෂ්ණා වනයෙන් මිදුණේ නැවත තෘෂ්ණා වනයටම දිවේද, ඒ පුද්ගලයා මෙසේ බලව්; හෙතෙම මිදුණු බන්ධනයකටම නැවත දිව යයි.
12.(345) යකඩින් කරණ ලද්දාවූද දණ්ඩෙන් කරණ ලද්දාවූද බබුස් තණින් කරණ ලද්දාවූද, යම් බන්ධනයෙක් ඇද්ද, ඒ සියලු බන්ධනයම ප්‍රාඥයෝ දැඩිවූ බන්ධනයකැයි නොකියති. මාණික්‍යයෙහිද කුණ්ඩලාභරණයෙහිද අතිශයින්ම ඇලුණාවූ එසේම දරුවන් කෙරෙහිද අඹුවන් කෙරෙහිද යම් අපෙක්‍ෂාවක් ඇද්ද,
13.(346) (මේ බුද්ධාදී) ප්‍රාඥයෝ ඒ තෘෂ්ණාව ස්ථිරවූ බන්ධනයකැයි කියති. යට බලාගෙණ යන්නාවූ, ලිහිල් වූ නමුත් උනාහැරිය නොහැකිවූ මේ (ක්ලේශ) බන්ධනය පවා කපා වස්තු කාම ක්ලේශකාමයන්හි අපෙක්‍ෂා රහිතවූවාහු කාම සුවය හැර පැවිදි වෙති.
14.(347) රාගයෙන් රත්වූ යම් සත්ව කෙනෙක් තමා විසින් කරණ ලද දැලෙහි (වැද හොත්තාවූ) මකුළුවා මෙන්ම තමන්ම උපදවා ගත්තාවූ තෘෂ්ණා නැමැති සැඩ පහරෙහි වැටෙද්ද, ප්‍රාඥයෝ වනාහි මේ තෘෂ්ණා ප්‍රවාහය පවා සිඳ ආලය නැතිව සියලු සසර දුක් පහකොට නිවන් පුරට යන්නාහ.
15.(348) අතීත වූ ස්කන්ධයන් කෙරෙහි පැවති තෘෂ්ණාව හරුව. අනාගත වූ ස්කන්ධයන් කෙරෙහි පවත්නා තෘෂ්ණාව හරුව. මධ්‍යයෙහි වූ වර්තමාන ස්කන්ධයන් කෙරෙහි පැවති තෘෂ්ණාවද හරුව. මෙසේ භවයාගේ පරතෙරටම පැමිණි තෝ සියලු ප්‍රත්‍යය සමුත්පන්න ධර්මයන්ගෙන් මිදුණු සිත් ඇත්තෝ නැවත ජාතියට හා ජරාවට නොපැමිණෙහි.
16.(349) විතර්කයන් විසින් මඩනා ලද්දාවූ, තීව්‍රවූ කාමරාග ඇති, ඉෂ්ටාලම්බනයන් ශුභ වශයෙන් බලන සුලුවූ සත්වයාහට බොහෝකොටම තණ්හාව වැඩෙයි. මේ පුද්ගලයා වනාහි තෘෂ්ණාව නැමැති බන්ධනය දැඩි කරන්නේය.