23. නාග වර්ගය
1.(320) යම් හෙයකින් ලෞකික මහ ජනතෙම දුශ්ශීලද එහෙයින් යුද්ධ භූමියෙහි දුන්නෙන් මිදුණු සර (ඉවසන්නාවූ) ඇතකු මෙන් මම ඵරුෂ වචන ඉවසන්නෙමි.
2.(321) දැමුනු සතකුම බොහෝදෙනා රැස්වන තැනට (සභාවට) පමුණුවති. රජතෙමේද දැමුනු ඇතකු අසකුටම නැගෙන්නේය. යමෙක් තෙම පරොස් තෙපුල් ඉවසාද ඒ දැමුනු පුද්ගලතෙම මිනිසුන් අතුරෙන් උත්තමයි.
3.(322) අශ්වතරයෝද දැමුනාහුම උත්තමයහ. ආජානේය නම් අශ්වයාද සෛන්ධව අශ්වයෝද, මහා නාගයයි කියන ලද ඇත්තුද දැමුනාහුම උත්තමයහ. ඔවුන් හැම දෙනාටම වඩා තමා දැමුනේ උත්තමයි.
4.(323) මේ යානවලින් අගත (-නොගිය) නම්වූ දිශාවට නොයන්නේ වේද, එහෙයින් දැමුණේ, දැමුණාවූ, ඉතා මනාව දැමුණාවූ සිතින් (එහි) යයි.
5.(324) ධනපාල නම්වූ ඇත්තෙම (දෙකන්සිළින් වෑහෙන) තීව්රවූ මද ඇත්තේ (කිසිවක්හු විසින්) නොවැළැකිය හැකි වූයේ, (ඇත් ගලට ගෙණවුත්) බඳනා ලද්දේ අහර නොකයි. ඇත්තෙම ඇත් වනයම සිහි කරන්නේය.
6.(325) යම් කලෙක පුරුෂතෙම මිද්ධ (නිදිමත) බහුල කොට ඇත්තේ වේද, බොහෝකොට කන්නේද (කුඩු ආදී ඌරු අහරින් පෝෂණය කරන ලද මහා ඌරෙකු මෙන්) නිදන්නේ පෙරළි පෙරළී වැද හෝනේ වේද, ප්රඥා රහිතවූයේ නැවත නැවත මව් කුසට පැමිණෙන්නේය.
7.(326) මේ සිත මෙයින් පූර්වයෙහි (රූපාදී අරමුණෙහි ලෝභාදී) යම් ආකාරයකින් පවත්නා කැමැත්තේද යමෙක (රූපාදී යම් අරමුණෙක්හි) පවත්නා කැමැත්තේ වේද සුවසේ බොහෝ කලක් සැරිසරා ඇවිද්දේ වේද, ඒ සිත අද මම වැගිරෙන මද ඇති ඇතක්හු නිග්රහ කරන්නාවූ දක්ෂවූ හස්තියාචාර්යයක්හු මෙන් නුවණින් නිග්රහ කරන්නෙමි.
8.(327) නොපමා බවෙහි ඇලෙව්. තොපගේ සිත රකිව්. (ගැඹුරු) මඩෙහි ගැලුනු ඇතු වෑයම් කොට එයින් නැගී ගොඩ පිහිටිය) මෙන් තමා ඒ කෙලෙස් මඩින් ගොඩ නගවු.
9.(328) ප්රඥාවත්වූ, තමා හා වසන්නට සුදුසුවූ, යහපත් වාස ඇති, ධෘති සම්පන්නවූ, (කළ්යාණ) මිත්රයෙකු ඉදින් (ලබා නම්) ඒ සියලු උපද්රවයන් මැඩ ඒ කළ්යාණ මිත්රයා හා සමග සතුටු සිත් ඇතිව සිහි නුවණින් යෙදී වසන්නේය.
10.(329) ප්රඥාවත්වූ තමා හා සමග වසන්නට සුදුසුවූ යහපත්වූ වාස ඇති ධෘති සම්පන්නවූ (කළ්යාණ) මිත්රයකු ඉදින් නොලබා නම්, දිනන ලද රට හැර (වනයට වැද පැවිදිවූ) මහා ජනක රජු මෙන්ද, වනයෙහි මේ පාරිල්යෙය ඇතු මෙන්ද එකලාව වසන්නේය.
11.(330) හුදෙකලා වූවහුගේ විසීම උතුම්ය. අඥානයා කෙරෙහි සහාය බවක් නැත. (එහෙයින්) එකලාව වසන්නේය. පව් නොකරන්නේය. වනයෙහි පාරිලෙය්ය ඇතු මෙන්ම එකලාව වසන්නේය.
12.(331) ප්රයෝජනයක් උපන් කල්හි, සහායයෝ සැපය, (යම්කිසි ප්රත්යයකින්) එකින් එක උපදනාවූ යම් තුෂ්ටියක් ඇද්ද, ඒ තුෂ්ටිතොම සුවය. මරණාසන්න කාලයෙහි කරණ ලද කුශල කර්මය සුවය. සියලු සංසාර දුක්ඛයාගේ ප්රහාණය (ගෙවා ලීම) සුවයි.