22. නිරය වර්ගය.
1.(306) බොරු කියන පුද්ගලතෙම නරකයට යන්නේය. නැවත යමෙක් පව්කම කොට නොකෙළෙමියි කියාද (හෙද නරකයට යන්නේය.) ලාමකවූ ක්‍රියා ඇති ඒ මිනිස්සු දෙදෙනාම මෙයින් මිය ගොස් පරලොවදී සමවන්නාහුය.
2.(307) කාෂාය වස්ත්‍රයෙන් වෙළන ලද ග්‍රීවා ඇති, ලාමක ස්වභාව ඇති සංයම නැති පුද්ගලයෝ බොහෝය. ඒ ලාමක පුද්ගලයෝ පාප කර්මයෙන් නරකයෙහි උපදනාහ.
3.(308) සිල් නැත්නාවූ, සංයම රහිතවූ, පුද්ගලතෙම රට වැස්සන් විසින් දුන් අහර ඉදින් වළඳන්නේ වේද, (එයට වඩා) තැවී දිලිසුණු ගිනි සිලක් වැනිවූ ලෝ ගුලියක් වළඳනා ලද්දේ උතුම්ය.
4.(309) පරස්ත්‍රීන් සේවනය කරණ සුලුවූ ප්‍රමාදශීලි පුරුෂතෙම අකුසල් ලැබීමය. කැමති පරිද්දෙන් නිදි නොලැබීමය. තුන්වනුවූ නින්දාවය, සතරවනුවූ නරකොත්පත්තියද යන මේ දුක් සතරට පැමිණෙන්නේය.
5.(310) අකුසල් ලැබීමද, (නරකයෙහි ඉපදීම යයි කියන ලද) පාපයෙහි ගතියද (මෙසේ ඒ පුරුෂයාට වෙයි.) භය පත්වූ පුරුෂයාගේ භයපත්වූ ස්ත්‍රීය හා සමඟ කාම රතියද, ස්වල්ප වන්නීය. රජද ගරුවූ දඬුවම් පමුණුවන්නේය. එහෙයින් පුරුෂතෙම පරස්ත්‍රී සේවනය නොකරන්නේය.
6.(311) යම්සේ කුස තණපතක් වරදවා ගන්නා ලද්දේ හෙවත් නොපිටට අදනා ලද්දේ ගත් අතම කපාද (එපරිද්දෙන්ම) මහණදමද වරදවා ගන්නා ලද්දේ නරකයට අදනේය.
7.(312) (පසු බැස බැස) සිථිල කොට කරණ ලද යම්කිසි කුශල කර්මයෙක් ඇද්ද, සකිලිටුවූ යම් ව්‍රතයක් ඇද්ද, සැකයෙන් යුක්තව හැසිරිය යුතුවූ යම් මහණ දමකුත් ඇද්ද, ඒ සියල්ල මහත් ඵල නොවේ.
8.(313) ඉදින් යම් කුශල කර්මයක් කරන්නේ නම් එය කරන්නේමය. ඒ කුශල කර්මයද තරකොටම කරන්නේය. කුමක් හෙයින්ද යත්? යම් හෙයකින් චණ්ඩාදී භාවයට පමුණුවන ලද ශ්‍රමණ ධර්මය (-පැවිද්ද) බොහෝකොටම රාගාදී රජස් වගුරු වන්නේද එහෙයිනි.
9.(314) අකුශල කර්මය නොකරන ලද්දේම උතුමි. අකුශල කර්මය තෙම පසුව තවන්නේය. යම් කර්මයක් කොට පසුව නොතැවේද එසේවූ කුශල කර්මය කරන ලද්දේ උතුමී.