20. මාර්ග වර්ගය
1.(273) මාර්ගයන් අතුරෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රේෂ්ඨයි. සත්‍යයින් අතුරෙන් දුක්ඛාය (සත්‍ය) පදයෝ සතර දෙන ශ්‍රේෂ්ඨයහ. ධර්මයන් අතුරෙන් නිර්වාණයයි කියන ලද නොඇල්ම ශ්‍රේෂ්ඨයි. දෙපාඇති සත්වයන්ට පසැස් ඇති තථාගතතෙම ශ්‍රේෂ්ඨයි.
2.(274) (මාර්ගඵලයයි කියන ලද) දර්ශනයාගේ විශුද්ධිය පිණිස මේ මගය. අනික් මගෙක් නැති තෙපි මේ මාර්ගයෙහි පිළිපදුව මේ (ආර්ය අෂ්ටාංගික මාර්ගය) මාරයා මුළා කරන්නේය.
3.(275) මෙහි (ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි) පිළිපන්නාවූ තෙපි සියලු (වෘත්ත) දුක්ඛය කෙළවර කරව්. (රාගාදි) උල් දුරු කරන්නාවූ මේ (ආර්ය) මාර්ගය (ප්‍රත්‍යක්ෂ ඥානයෙන්ම) දැන මා විසින් කියන ලදී.
4.(276) තොප විසින් සම්‍යක් ප්‍රධාන වීර්යය කටයුතුයි. සර්වඥවරයෝ (නිවණට පමුණුවන මග හුදෙක්) කියන්නාහුම වෙති. (කියන ලෙස) පිළිපන්නාවූ යෝගාවචරයෝ මාර බන්ධනයෙන් මිදෙන්නාහුයි.
5.(277) සියලු සංස්කාරයෝ අනිත්‍යහයි (යම් කලෙක්හි විදර්ශනා ප්‍රඥාවෙන්) දකීද එකල්හි මේ ස්කන්ධ පරිහරණයයි කියන ලද) දුක්ඛයෙහි කලකිරෙන්නේය. මේ කලකිරීම නිර්වාණයට මාර්ගයයි.
6.(278) සියලු සංස්කාරයෝ දුක්ඛයහයිද යම් කල්හි (විදර්ශනා ප්‍රඥාවෙන්) දකීද එකල්හි (මේ ස්කන්ධ පරිහරණයයි කියන ලද) දුක්ඛයෙහි කලකිරෙයි. මේ කලකිරීම නිර්වාණයට මාර්ගයයි.
7.(279) සියලු ධර්මයෝ අනාත්මයහයි යම් කලෙක්හි විදර්ශනා ප්‍රඥාවෙන් දකීද, එකල්හි මේ (ස්කන්ධ පරිහරණයයි කියන ලද) දුක්ඛයෙහි කලකිරෙයි. මේ කලකිරීම නිර්වාණයට මාර්ගයකි.
8.(280) (වීර්ය කරන්ට) සුදුසුකල්හි වීර්ය නොකරන්නේ තරුණ වූයේද, කායබල ඇත්තේද, ඉදින් අලසකමින් යුක්ත නම් අතිශයින්ම සිත් ඇතියේ කුසීතවූයේ කම්මැළිවූයේ ප්‍රඥාවෙන් දැක්ක යුතුවූ ආර්ය මාර්ගය නොලබන්නේය.
9.(281) වචනින් රැකුනේ වේද, මනසින් සුසංවෘතද කයිනුත් අකුසල් නොකරන්නේවේද, මේ කර්ම පථයන් තුන්දෙන යමෙක් පිරිසිදු කෙරේනම් හෙතෙම (බුද්ධාදී) සෘෂීන් විසින් ප්‍රතිවේධ කරණ ලද ආර්ය මාර්ගය සිද්ධ කරන්නේය.
10.(282) (අටතිස් අරමුණෙහි යෝනිසෝමනසිකාරයෙහි) භාවනය (සිත වැඩීම) හේතුකොටගෙණ ඒකාන්තයෙන් (ලොකොත්තර) ප්‍රඥාතොම උපදනීය. භාවනා (මනස්කාර) යෙහි නොයෙදීම හේතුකොටගෙණ ප්‍රඥාවගේ විනාශය වෙයි. වැඩ පිණිසද අවැඩ පිණිසද පවත්නාවූ මේ දෙමග දැන යම්සේ ප්‍රඥාව වැඬේද, එසේ තමා (යෝනිසෝමනසිකාරයෙහි) පිහිටු වන්නේය.