2. අප්පමාද වර්ගය
1.(21) අප්‍රමාදය හෙවත් නොපමා බව අමෘතයයි කියනලද නිර්වාණයාගේ (අධිගමයට) කාරණ වෙයි. ප්‍රමාදය මරණයට කාරණ වෙයි. (කළ්‍යාණ මිත්‍ර ධර්මයෙහි) අප්‍රමත්ත (පමා නොවන) සත්වයෝ නොමියන්නාහ. යම් කෙනෙක් ප්‍රමත්තයෝ (පමාවන්නෝ) ද ඔහු මළවුන් මෙනි.
2.(22) මේ කාරණය විශේෂයෙන් දැන, නොපමා බැව්හි පිහිටියාවූ නුවණැත්තේ (තමන්ගේ) අප්‍රමාද ගුණයෙහි සතුටුවෙති. ආර්යයන්ගේ ගෝචරයෙහි (ගොදුරෙහි) ඇලුනාහුවෙති.
3.(23) (ද්විප්‍රකාර) ධ්‍යානයෙන් (ධ්‍යායීවූ) වඩන හෙවත් සමථ විදර්ශනා භාවනාවෙහි යෙදුනු සතතයෙන් පැවති (කායික චෛතසික) දැඩිවීර්යය ඇති (නිතර දෘඪවීර්යයයෙන් යුක්තවූ ඒ ප්‍රාඥයෝ සතරයෝගයෙන් කෙරෙන් නිර්භයවූ බැඳුම්වලින් බියනැති) නිරුත්තරවූ නිර්වාණය (උතුම් නිවණ) ස්පර්ශ කරන්නාහුය.
4.(24) උට්ඨාන වීර්යයයෙන් යුක්තවූ (නැඟීසිටින), එළඹ සිටි සිහි ඇති, නිර්දෝෂවූ කායකර්මාදිය ඇති (කටයුතු පිරිසිදු) පරීක්ෂාකරණ සුලුවූ සංයතවූ (කාය වාක්කර්ම ඇති) හෙවත් සංවරවූ ධාර්මික ජීවිකාවෙන් ජීවත්වන්නාවූ, අප්‍රමත්ත (නොපමා) පුරුෂයාගේ යසස විශේෂයෙන් වැඩෙයි.
5.(25) කායික චෛතසික වීර්යයෙන් (නැඟීසිටීමෙන්) ද අප්‍රමාදයෙන් ද (චතුපාරි ශුද්ධිශීල සංඛ්‍යාත කායවාග්) සංයමයෙන් (සංවරයෙන්) ද (ඉන්‍ද්‍රිය) දමනයෙන්ද, නුවණැති පුරුෂතෙම, කෙලෙස් මහවතුර යමක් නොනසාද, ඒ ප්‍රතිෂ්ඨාව (දිවයින) කරන්නේයි.
6.(26) (මෙලොව පරලොව වැඩ) නොදන්නාවූ, (එහෙයින්ම) නුවණ නැති සත්‍වයෝ ප්‍රමාදයෙහි යෙදී වෙසෙති. ප්‍රාඥතෙම අප්‍රමාදය උත්තම ධනයක් මෙන් රකියි.
7.(27) පමා බව නොම පුරුදු කරව්. තෘෂ්ණා සංස්තවයෙහි (කාමසම්බන්ධයෙහි) නොයෙදෙවු. අප්‍රමත්ත (නොපමා) පුද්ගලතෙමේ (සමථ විදර්ශනා) භාවනා කරන්නේ මහත්වූ (නිවන්) සුවයට පැමිණෙන්නේය.
8.(28) ප්‍රාඥතෙම යම් කලෙක්හි අප්‍රමාදයෙන් ප්‍රමාදය දුරු කෙරේද එකල්හි ප්‍රඥා නමැති ප්‍රාසාදයට නැඟී ශෝක රහිතවූ ප්‍රාඥවූ ඒ (ක්‍ෂීණාශ්‍රව) තෙම ශෝක සහිතවූ මෝඩවූ සත්ව සමූහයා බිම සිටියවුන් පර්වත මුදුනෙක්හි සිටි එකක්හු විසින් මෙන් දක්නේය.
9.(29) (පමාවන) සත්වයන් අතුරෙහි නොපමාවූ, (කෙලෙස් නින්දෙන්) නිදන්නාවූ සත්වයන් අතුරෙහි වඩා නොනිදීම් ඇති, (සුන්දරවූ ප්‍රඥා ඇති මහා ක්‍ෂීණාශ්‍රව) පුද්ගලතෙම දුර්වල අශ්වයකු (හැරපියා යන්නාවූ) සීඝ්‍රවූ ජව ඇති අශ්වයකු මෙන් (පමාවන) සත්වයන් සසරවටැම හැරපියා (නිවන් පුරයට) යන්නේයි.
10.(30) ශක්‍රතෙමේ අප්‍රමාදය හේතුකොටගෙණ දෙවියන්ට උතුම් බවට (රජබවට) පැමිණියේ. අප්‍රමාදය පසසත්. ප්‍රමාදය සදාකල්හි ගර්හිතයි. (නින්දාකොට තිබේ.)
11.(31) නොපමාබවෙහි ඇලුනාවූ, ප්‍රමාදයෙහි බිය දක්නාවූ මහණතෙම කුඩාවූද, මහත්වූද, (දශවිධ) සංයෝජනයන් (ලැව්) ගින්නක් මෙන් (අර්හත්මාර්ගඥාන නැමැති ගින්නෙන්) දවමින් (නිවන්පුරයට) යන්නේය.
12.(32) අප්‍රමාදයෙහි ඇලුනාවූ, ප්‍රමාදයෙහි භය දක්නාවූ මහණතෙම පිරිහීමට අයෝග්‍යය. නිර්වාණයට සමීපයෙහිම වන්නේය.
අප්පමාද වර්ගය දෙවැනි වෙයි.