19. ධම්මට්ඨ වර්ගය
1.(256) යම් කාරණයකින් කටයුතුවූ අර්ථය (ඡන්දාගති ආදියෙහි පිහිටා මුසාවාදයෙන්) වහා විනිශ්චයකෙරේද ඒ කාරණයෙන් (විනිශ්චය) ධර්මයෙහි පිහිටියා නම් නොවෙයි. නුවණැත්තාවූ යමෙක් වනාහි සත්යවූ කාරණයද අසත්යවූ කාරණයද යන දෙක නිශ්චය කෙරේද.
2.(257) සත්යවූ තෙපුලෙන් පිළිවෙළින් (විනිශ්චය) ධර්මයෙන් සමසේ (අපරාධවූ පරිද්දෙන්) අනුන් හික්මවාද (විනිශ්චය) ධර්මය රක්නා ලද්දාවූ නුවණැති පුරුෂ තෙම (විනිශ්චය) ධර්මයෙහි පිහිටියේයයි කියනු ලැබේ.
3.(258) යම් පමණ කාරණයකින් බෙහෝ කොට බෙණේද? ඒකාරණයෙන් පණ්ඩිත නම් නොවෙයි. යමෙක් වනාහි තෙමේ ක්ෂෙමීවේද පඤ්චදුශ්චරිතයන් නැත්තේද අවෛරීවේද, යමෙකු කෙරෙන් මහජනයාට භය නැත්තේද (හෙතෙම) පණ්ඩිතයයි කියනු ලැබේ.
4.(259) යම් පමණකින් බොහෝකොට බෙණේද, එපමණකින් (ධර්මධර) ධර්මය දරන්නේ නම් නොවෙයි. යමෙක් වනාහි මඳ දෙයකුදු අසා නාමකායෙන් (චතුස්සත්යය) ධර්මය දකීද, යමෙක් ධර්මයෙහි නොපමා වේද, ඒ මහණතෙම ඒකාන්තයෙන් ධර්මධර නම් වෙයි.
5.(260) යම් (වයෝවෘද්ධතා) කාරණයකින් ඔහුගේ හිස පැසුනේ වේද, ඒ කාරණයෙන් ස්ථවිර (වැඩිසිටි) නම් නොවෙයි. ඔහුගේ වයස මුහුකුරා ගියේ වෙයි. හෙතෙම (ස්ථවිර කර ධර්මයන් නැතිහෙයින්) හිස් මහල්ලායයි කියනු ලැබේ.
6.(261) යම් පුද්ගලයෙකු කෙරෙහි චතුරාර්ය සත්යයද නවලොකොත්තර ධර්මයද අවිහිංසාවද (හෙවත් මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛාද) කායවාග් හික්මීමද (ඉන්ද්රිය) දමනයද යන මේ ගුණ ඇද්ද (අර්හත් මාර්ගඥාන නැමැති මුඛයෙන්) වමනය කරණ ලද (රාගාදී) මල ඇති ධෛර්ය්ය සම්පන්නවූ ඒ (මහණ) තෙම ස්ථවිරයයි කියනු ලැබේ.
7.(262) (මිහිරි) තෙපුල් ඇති පමණකින් හෝ (ශරීර) වර්ණය යහපත් බැවින් හෝ ඊර්ෂ්යා කරණ සුළුවූ, මසුරුවූ, කෛරාටිකවූ මිනිස් තෙම සාධු ස්වරූප ඇත්තේ නොවෙයි.
8.(263) යමෙකු විසින් මේ (ඊර්ෂ්යාදී දෝෂ සමූහය) මනාකොට සිඳින ලදද කෙලෙස් මුල් හා සමග නසනලදද, නසනලද (ඊර්ෂ්යාදී) දෝෂ ඇති ප්රඥාවත්වූ හෙතෙම සාධු ස්වරූප (හොඳ ගති පැවතුම්) ඇත්තේයයි කියනු ලැබේ.
9.(264) හිස මුඩු පමණින් ශ්රමණයෙක් නොවෙයි. ව්රතගුණ නැති බොරු කීමෙන්, ඉච්ඡා (කැමත්ත) හා ලෝභයෙන් යුක්තවූයේ කෙසේ නම් ශ්රමණයෙකැයි කියනු ලැබේද?
10.(265) යමෙක් වනාහි ස්වල්පවූද මහත්වූද අකුශලයින් සර්වප්රකාරයෙන් සංසිඳුවාද අකුශලයන් සංසිඳුවන ලද බැවින් හෙතෙම ශ්රමණයයි කියනු ලැබේ.
11.(266) යම් පමණෙකින් අනුන් සිඟාද ඒ කාරණෙන් භික්ෂූනම් නොවෙයි විෂමවූ (පාප) ධර්මයන් (නොහොත් දුගඳ හමන කාය කර්මාදිය) සමාදන්ව වසන්නේ එපමණකින් භික්ෂූ නම් නොවේ.
12.(267) මේ ශාසනයෙහි යම් මහණෙක් කුශලයද අකුශලයද යන මේ දෙකම (මාර්ග බ්රහ්මචර්යයෙන්) දුරුකොට (මාර්ග) බ්රහ්මචර්යයෙන් යුක්ත වේද, (ස්කන්ධාදී ලෝකයෙහි සියලු ධර්මයන්) නුවණින් සලකා හැසිරේද, හෙතෙම ඒකාන්තයෙන් භික්ෂුයයි කියනු ලැබේ.
13.(268) මූඪගති ඇති අඥාන පුද්ගල තෙම, තුෂ්ණිම්භූත වීමෙන් මුනිනම් නොවෙයි. ප්රාඥයා වනාහි තරාදියක් ගෙණ කිරන්නට සිටි එකක්හු මෙන් ගතයුතුවූ උතුම් දෙය ගෙණ වෙසේද.