18. මල වර්ගය
1.(235) දැන් (පැසී වියලි) පරණලා පතක් මෙන් වෙහි. යමදූතයෝද තා කරා පැමිණ සිටියහ. මරණ මුඛයෙහිද සිටියෙහි. තට මාර්ගෝපකරණය කුදු නැත.
2.(236) ඒ තෝ තමහට පිහිටක් කර, වහාම වීර්යකර, නුවණැති වෙව. නසනලද (රාගාදී) මල ඇත්තේ (එහෙයින්ම) කෙලෙස් නැත්තේ ශෝභාවත්වූ සුද්ධාවාස භූමියට පැමිණෙන්නෙහිය.
3.(237) දැන් ගියාවූ වයස් ඇත්තේද, වෙහිය. යමයා සමීපයට පැමිණියේ වෙහි. තට අතුරෙහි වාසයකුදු නැත. තට මාර්ගෝපකරණද නැත.
4.(238) ඒ තෝ තමහට පිහිටක් කර, වහාම වීර්යකර, නුවණැති වෙව. නසනලද (රාගාදී) මල ඇත්තේ (එහෙයින්ම) කෙලෙස් නැත්තේ ජාති ජරාවන්ට නොඑලඹෙන්නෙහිය.
5.(239) ප්‍රාඥතෙම පිළිවෙළින් ක්‍ෂණ ක්‍ෂණයෙහි මද මද තමාගේ රාගාදී මල (රන්) ස්වර්ණකාරයෙකු රිදියේ දෝෂය මෙන් දුරු කරන්නේය.
6.(240) යකඩින්ම නැංගාවූ මලය. එයින්ම නැඟී ඒ යකඩම යම්සේ කාද එසේම සිව්පසය නොසෝදා (ප්‍රත්‍යවෙක්‍ෂාකොට) පරිභෝග කරණ ප්‍රඥාවෙන් ඉක්මුණු මහණහු, තමන්ගේ ඒ පාපකර්මයෝ (ඔහු) දුගතියට පමුණුවන්නාහ.
7.(241) හදාරණ ලද ශාස්ත්‍රයෝ නොපිරිවීම මලකොට ඇත්තාහ. ගෘහයෝ නොනැංවීම මල කොට ඇත්තාහ. (ශරීර) වර්ණයට කුසීත බව මලයි. (යම් කිසිවක්) රක්නාහට ප්‍රමාදවීම මලයි.
8.(242) ස්ත්‍රියකට දුශ්චරිතය මලයි. දන් දෙන්නාට මසුරු සිත මලයි. අකුශල ධර්මයෝ මෙලොවද පරලොවද මලයෝය.
9.(243) මහණෙනි, ඒ සියලු මලට වඩා අධිකතර මලයක් (තොපට කියමි) අවිද්‍යා (ඇත්ත නොදැනීම) තොමෝ උතුම්වූ මලයෙක. මේ මලය දුරුකොට නිර්මලව.
10.(244) (පාපයෙහි) හිරිඔතප් නැත්තාවූ ගසා කෑමෙහි ශූරවූ කවුඩෙකු වැනිවූ. (අනුන්ගේ) ගුණමකුවූ ගෙන් ගෙට දිවන සුලුවූ, බුහුටිවූ, කිලිටිවූවහු විසින් ජීවත්වීම සුවසේ කට හැක්කේයි.
11.(245) (පාපයෙහි) හිරිඔතප් ඇත්තාවූ නිතොර පිරිසිදු (කායකර්මාදිය) සොයන සුලුවූ, කුසීත නොවූ, ආඩම්බර නොවූ, පිරිසිදු ආජීව ඇති (එම පිරිසිදු ආජීවය සාරකොට) දක්නාවූවහු (ලජ්ජී මහණහු) විසින් ජීවත්වීම දුක්ය.
12.(246) යම් පුද්ගලයෙක් පරපණ නසාද, බොරුකියාද මේ සත්ව ලෝකයෙහි (හිමියන් විසින්) නොදෙන ලද වස්තුව සොරා ගණීද පරස්ත්‍රීන් කරා යේද.
13.(247) යම් පුරුෂයෙක් රහමෙර බීමෙහිද නැවත නැවත යෙදේද, මෙබඳු පුද්ගල තෙම, මෙලොවදීම තමාගේ (ප්‍රතිෂ්ඨා) මූලය කණන්නේය.
14.(248) භවත් පුරුෂය, ලාමකවූ අකුශල ධර්මයෝ නොසන්සුන් කළ හැක්කාහයි මෙසේ දනුව (විෂමවූ) ලෝභයද ද්වේෂයද (යන අකුශල මූලයෝ දෙදෙන) බොහෝ කලක් නරකාදී දුකට නොපමුණුවත්වා.
15.(249) ජනතෙම ශ්‍රද්ධාවට අනුරූප පරිද්දෙන් ප්‍රසාදයට අනුරූප පරිද්දෙන් (අනුන්ට) දෙන්නේය. ඒ කෑම් බීම්හි යමෙක් (මහණෙක් දොම්නස්වීද ඒ මහණතෙම ඒකාන්තයෙන් දවාලකවත් රාත්‍රියකවත් සමාධියකට නොපැමිණෙන්නේය.
16.(250) යම් මහණෙකු විසින් මේ (මංකුභාවයයි කියන ලද) අකුශලය, මනාකොට සිඳින ලදද, අර්හත් මාර්ගඥානයෙන්) මූලඝාතන (මුල් සුන්) කොට සිඳින ලදද, සම්පූර්ණයෙන් උගුලන ලදද ඒ මහණතෙම ඒකාන්තයෙන් දවාලෙකවත් රාත්‍රියෙකවත් සාමාධියකට පැමිණෙන්නේය.
17.(251) රාගය හා සමාන ගින්නක් නැත. ද්වේෂය සම අල්ලාගැනීමක් නැත. මෝහය හා සමාන දැලක් නැත. තෘෂ්ණාව හා සමාන ගඟක්වත් නැත.
18.(252) අනුන්ගේ ස්වල්ප මාත්‍රවූ වරද සුවසේ දැක්ක හැකි. තමාගේ වූකලී (මහත් වරදද) නොදැක්ක හැකි (අනුන්ගේ වරද සොයන) ඒ පුද්ගලතෙම (ස්වල්පවූද) අනුන්ගේ දෝෂයක් (උසස් තැනෙක සිට) රොඩු බොල් මෙන් පොලන්නේය. තමාගේ වූකලි (මහත් වරදද කොළ කැලෑ වලින්) ශරීරය මුවහ කරන්නාවූ කපටි ලිහිණි වැද්දා මෙන් වසන්නේය.
19.(253) අනුන්ගේ වරද දක්නා සුලුවූ නිතොර (අනුන්ගේ සිදුරු සොයන බැවින්) අවමන් කරණ සුලුවූ ඒ මහණහුට (කාමාදි) ආශ්‍රවයෝ වැඩෙති. ඒ මහණ තෙම රහත් ඵලයෙන් දුරුයි.