17. කොධ වර්ගය
1.(221) ක්‍රෝධය දුරු කරන්නේය. මානය විශේෂයෙන්ම පහකරන්නේය. සියලු දශවිධ සංයෝජනය (බැඳුම්) ඉක්මවන්නේය. නාම රූප දෙක්හි ඇලුම් නොකරන්නාවූ (රාගාදි) කෙලෙසුන් නැති (හෙයින්) ඒ පුද්ගලයා (කායික චෛතසික) දුක්ඛයෝ අනුව නොපවත්නාහ.
2.(222) යම් පුද්ගලයෙක් තෙම ඒකාන්තයෙන් උපන්නාවූ ක්‍රෝධය භ්‍රමණය වන රථයක් මෙන් වළකාද, ඒ පුද්ගලයා මම රථාචාර්යයයි කියමි. අන්‍යවූ සාරථී ජන තෙම රැහැණ ගන්නා නම් වෙයි.
3.(223) ක්‍රොධ ඇති පුද්ගලයා ක්‍රොධ නොකිරීමෙන් දිනන්නේය. නපුරු ගුණ ඇත්තාහු මනා ගුණයෙන් දිනන්නේය. තද මසුරා දීමෙන් දිනන්නේය. බොරු කියන්නා සත්‍යයෙන් දිනන්නේය.
4.(224) සත්‍ය වචනයක්ම කියන්නේය. අනුන්ට නොකිපෙන්නේය. ඉල්වන ලදුයේ (දෙය ධර්මය) ස්වල්ප කල්හිදු (එයින්) මඳ දෙයකුදු දෙන්නේය. මේ තුන් කාරණයෙන් දෙවියන්ගේ සමීපයට (ප්රතිසන්ධි වශයෙන්) යන්නේය.
5.(225) යම් (අශෛක්ෂ) මුනිකෙනෙක් (අනුන්ට) හිංසාවක් නොකෙරෙත්ද, නිතොර කයින් සංවෘතයෝ (සංවරද) ඔහු යම් තැනකට ගොස් (සත්වයෝ) ශෝක නොකෙරෙත්ද, චුති රහිතවූ ඒ ස්ථානයට යෙති.
6.(226) හැම කල්හිම (ක්ලේශ නිද්‍රාවෙන්) නොනිදන්නාවූ දිවාරාත්‍රියෙහි (ත්‍රිවිධ ශික්ෂාවෙන්) හික්මෙන්නාවූ (ක්ලේශ) පරි නිර්වාණයෙහි ඇලුණවුන්ගේ (යෝගාවචරයන්ගේ) ආශ්‍රවයෝ නැසීමට යන්නාහ.
7.(227) අතුලය, (නින්දා ප්‍රශංසා යන) මෙය පුරාතනය, මෙය අදවූ දෙයක්ම නොවෙයි. තුෂ්ණීම්භූතව හුන්නහුටද නින්දා කෙරෙති. බොහෝ කොට කියන්නහුටද නින්දා කෙරෙති. මඳකොට කියන්නහුටද නින්දා කෙරෙති. මේ (සත්ව) ලෝකයෙහි නින්දා නොකරණ ලද්දෙක් නැති.
8.(228) ඒකාන්තයෙන් නින්දා කරණ ලද පුරුෂයෙක් හෝ ඒකාන්තයෙන් ප්‍රශංසා කරණ ලද පුරුෂයෙක් හෝ අතීතයෙහිද නොවීය. අනාගතයෙහිද නොවන්නේය. දැන් වර්තමාන කාලයෙහිද නැත්තේය.
9.(229) ඉදින් ප්‍රාඥයෝ දවස දවස විමසා යමෙකුට ප්‍රශංසා කෙරෙද්ද, සිදුරු නැති දිවි පැවතුම් ඇති, (විදර්ශනා) ඥානයෙන් යුක්තවූ ප්‍රඥාවෙන් හා ශීලයෙන්ද යුක්ත ඔහු.
10.(230) දඹරත්රන් පිඩකට මෙන් ඔහුට නින්දා කරන්ට කවරෙක් සුදුසුද, දෙවියෝද ඒ මහණහුට ප්‍රශංසා කෙරෙති. බ්‍රහ්මයා විසිනුදු ප්‍රශංසා කරණ ලද්දේම වේ.
11.(231) ත්‍රිවිධ කාය දුශ්චරිතය රක්නේය. කයින් සංවරයෙහි පිහිටියෙක් වන්නේය. කායදුශ්චරිතය දුරුකොට කායද්වාරයෙන් සුචරිතය පුරන්නේය.
12.(232) (චතුර්විධ) වාග් දුශ්චරිතය රකිනේය. වචනයෙන් සංවරයෙහි පිහිටියෙක් වන්නේය. වාග් දුශ්චරිතය දුරුකොට වාග්ද්වාරයෙන් සුචරිතය පුරන්නේය.
13.(233) (ත්‍රිවිධ) මනෝ දුශ්චරිතය රක්නේය. සිතින් සංවරයෙහි පිහිටියෙක් වන්නේය. මනෝ දුශ්චරිතය දුරුකොට සිතින් සුචරිත පුරන්නේය.