16. පිය වර්ගය
1.(209) තමා නොයෙදියයුතු තැන යොදන්නාවූද, යෙදිය යුතු තැන නොයොදන්නාවූද පුද්ගලතෙම අර්ථය (යහපත) හැර ප්‍රියයම ගන්නාසුලුවූයේ ආත්මාර්ථකාමියා පතන්නේය.
2.(210) ප්‍රියයන් හා ද අප්‍රියයන් හා ද කිසිකලෙක්හිදු (තෘෂ්ණා ආශ්‍රය වශයෙන්) සමාගමය නොකරන්නේය. (කුමක් නිසාදයත්) ප්‍රියවූ සත්ව (සංස්කාරය)න්ගේ නොදැක්ම දුක්ය. අප්‍රියවූ සත්ව (සංස්කාරය)න්ගේ දැක්ම දුක්ය.
3.(211) එහෙයින් (කිසි සත්වයෙක්වත් සංස්කාරයක්වත්) ප්‍රිය නොකරව්. ඒ එසේ මැයි. ප්‍රියයන්ගේ වියෝගය ලාමකයි. යම් (රහත්) කෙනෙකුන්ට ප්‍රියවූ හෝ අප්‍රියවූ වස්තුවක් නැද්ද, ඔවුන්ට (අහිධ්‍යාදීකාය) ග්‍රන්ථයෝ (ගැටලු) නැත්තාහ.
4.(212) ශෝකය ප්‍රියවූ සංස්කාරයන් නිසාම උපදනේය. භය ප්‍රියවූ සංස්කාරයන් නිසා උපදනේය. ප්‍රිය වස්තුවෙන් මුක්තවූ සිත් ඇත්තාහට ශෝකයෙක් නැත. භය කොයින්ද?
5.(213) ශෝකය ප්‍රේමය නිසාම උපදනේය. භය ප්‍රේමය නිසාම උපදනේය. ප්‍රේමයෙන් මිදුණු සිත් ඇත්තාහට ශෝකයක් නැත. භයක් කොයින්ද?
6.(214) ශෝකය පඤ්චකාම ගුණ රතිය නිසා උපදනේය. භය පඤ්චකාම ගුණ රතිය නිසා උපදනේය. පඤ්චකාම ගුණරතියෙන් මිදුණු සිත් ඇත්තාහට ශෝකයක් නැත. බියක් කොයින්ද?
7.(215) ශෝකය කාමයන් නිසාම උපදනේය. භය කාමයන් නිසාම උපදනේය. කාමයන්ගෙන් මිදුණු සිත් ඇත්තාහට ශෝකයක් නැත. බියක් කොයින්ද?
8.(216) ශෝකය තෘෂ්ණාව නිසාම උපදනේය. භය තෘෂ්ණාව, නිසාම උපදනේය. තෘෂ්ණාවෙන් මිදුණු සිත් ඇත්තාහට ශෝකයක් නැත. භයක් කොයින්ද?
9.(217) (චතුපාරි ශුද්ධි) ශීලයෙන් හා (මාර්ගඵල සම්ප්‍රයුක්තවූ) සම්‍යක් දෘෂ්ටියෙන් ද යුක්තවූ (නවලොකොත්තර) ධර්මයෙහි පිහිටියාවූ (සත්‍යඥානයෙන්) සත්‍යවාදීවූ තමාගේ කාර්යය කරන්නාවූ ඒ ක්‍ෂීණාශ්‍රවයා (ලෞකික) මහජනතෙම ප්‍රිය කරන්නේය.
10.(218) නිර්වාණයෙහි (කත්තුකම්‍යතා කුසලච්ඡන්ද වශයෙන්) උපන් ඡන්දය ඇතියේ, (යටතුන් මග හා තුන්පල) සිතින් ස්පර්ශ කෙළේත්වේද, රූපදීපඤ්චකාමයෙහිද නොඇලුණු සිත් ඇත්තේවේද (හෙතෙම) උද්ධං සෝතයයි කියනු ලැබේ.
11.(219) බොහෝකල් විදේශයෙහි විසූ පුරුෂයෙකු දුර රටකින් සුවසේ ආවහු (දැක) නෑයෝද මිත්‍රයෝද, යහලුවෝද, ඔහුගේ ඊමට යම්සේ සතුටු වෙද්ද?
12.(220) එපරිද්දෙන්ම කරණලද පින්කම් ඇති (පුරුෂයාද) මෙලොවින් (මිය) පරලොවට ගියහු (ඔහු) කළ කුශලයෝ දුර සිට ආ ප්‍රිය නෑයෙකු (පිළිගන්නා නෑයන්) මෙන් පිළිගන්නාහ.
දහසයවන පිය වර්ගය නිමවිය.
17. කොධ වර්ගය
1.(221) ක්‍රෝධය දුරු කරන්නේය. මානය විශේෂයෙන්ම පහකරන්නේය. සියලු දශවිධ සංයෝජනය (බැඳුම්) ඉක්මවන්නේය. නාම රූප දෙක්හි ඇලුම් නොකරන්නාවූ (රාගාදි) කෙලෙසුන් නැති (හෙයින්) ඒ පුද්ගලයා (කායික චෛතසික) දුක්ඛයෝ අනුව නොපවත්නාහ.
2.(222) යම් පුද්ගලයෙක් තෙම ඒකාන්තයෙන් උපන්නාවූ ක්‍රෝධය භ්‍රමණය වන රථයක් මෙන් වළකාද, ඒ පුද්ගලයා මම රථාචාර්යයයි කියමි. අන්‍යවූ සාරථී ජන තෙම රැහැණ ගන්නා නම් වෙයි.