15. සුඛ වර්ගය.
1.(197) වෛරීවූ මනුෂ්‍යයන් අතුරෙහි, අවෛරීවූවෝ (අපි) මනුෂ්‍යයන් වෛරීව පවත්නා කල්හි අවෛරීව වසමෝද, (එසේවූ අපි) ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත්වෙමු.
2.(198) ආතුරවූ මනුෂ්‍යයන් අතුරෙහි ආතුරනොවූ (අපි) මනුෂ්‍යයන් ආතුරව පවත්නාකල්හි ආතුර නොව වසමෝද (එසේවූ අපි) ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වෙමු.
3.(199) (පඤ්චකාම ගුණ සෙවීමෙහි) උත්සාහවත්වූ මනුෂ්‍යයන් අතුරෙහි නිරුත්සාහවූ (අපි) මනුෂ්‍යයන් උත්සාහවත්ව පවත්නාකල්හි නිරුත්සාහව වසමෝද (එසේවූ අපි) සුවසේ ජීවත් වෙමු.
4.(200) යම්බඳුවූ අපට රාගාදී කිසි පළිබොධයක් නැද්ද (එසේවූ අපි) ඒකාන්තයෙන් සුවසේ ජීවත්වෙමු. ආභස්සර බ්‍රහ්මයන් මෙන් ප්‍රීතියම ආහාරකොට ඇත්තෝවෙමු.
5.(201) අනුන් පරදවන්නේ වෛරීන් ඇති කෙරෙයි. අනුන් විසින් පරදවන ලද්දේ දුකසේ වසන්නේය. සන්හුන් රාගාදී ක්ලේශයන් ඇති ක්‍ෂීණාශ්‍රවතෙම ජය පරාජය දෙකම හැර සුවසේ වසන්නේය.
6.(202) රාගය හා සමවූ ගින්නෙක් නැත. ද්වේෂය හා සමවූ අපරාධයක් නැත. පඤ්චස්කන්ධයන් හා සමවූ දුක්ඛ කෙනෙක් නැත. නිර්වාණයට වැඩි සුවයක් නැත.
7.(203) රෝගයෝ සා දුක ප්‍රධානකොට ඇත්තාහ. දුක්ඛයෝ පඤ්චස්කන්ධයන් ප්‍රධානකොට ඇත්තාහ. මේ දෙක තත්වූ පරිද්දෙන් දැන (ප්‍රාඥයෝ නිවන් පසක් කරති) නිර්වාණය උතුම්වූ සුවයයි.
8.(204) සියලු ලාභයෝ නිරෝගිබව ප්‍රධානකොට ඇත්තාහ. ධනය සතුට ප්‍රධානකොට ඇත්තාහ. නෑයෝ විශ්වාසය ප්‍රධානකොට ඇත්තාහ. නිර්වාණය උතුම් සුවයකි.
9.(205) ප්‍රකර්ෂ විවේකයාගේ (තද විවේකයේ) රසයද, ක්ලේශව්‍යුපශමයාගේ පව් සංසිඳවීමේ රසයද බී (නවලෝකෝත්තර) ධර්ම වශයෙන් උපන් ප්‍රීතිරසය බොන්නාවූ ක්‍ෂීණාශ්‍රවතෙම පීඩා නැත්තේද පව්නැත්තේද වෙයි.