14. බුද්ධ වර්ගය.
1.(179) යමෙකු විසින් දිනන ලද ක්ලේශ සමූහය නැවත නොපරදියිද, ඒ දිනන ලද කෙලෙස් ලෝකයෙහි කිසි එකද ක්ලේශයෙක් ඔහු පසුපස නොයේද, කෙළවරක් නැති අරමුණු ඇති, කෙලෙස් පියවර නැති ඒ බුදුන් කවර මඟකින් තොපගේ වසයට ගෙනයවුද?
2(180) යම් සම්බුදු කෙනෙකුන් සංසාරයට පමුණුවන ජාලිනී නම් වූ විසත්තිකා නම් වූ තෘෂ්ණාවක් නැත්තේද, කෙළවරක් නැති අරමුණු ඇති, කෙලෙස් පියවර නැති ඒ බුදුන් කවර මඟකින් තොපගේ වසයට ගෙනයවුද?
3.(181) යම් ප්රාඥ කෙනෙක් ධ්යානයෙහි නියුක්තද, නෛෂ්ක්රම්යයෙහි (කෙලෙස් සංසිඳීමෙහි) ඇලුනාහුද, ස්මෘතිමත් වූ ඒ සම්බුදුන්ට දෙවියෝ පවා ප්රාර්ථනා කරති.
4.(182) මිනිසත් බව ලැබීම දුෂ්කරය, සත්වයින්ගේ ජීවිතය දුක්ඛිතය, සද්ධර්ම ශ්රවණය දුර්ලභය, බුදුවරයන්ගේ උප්පාදය දුෂ්කරය.
5.(183) සියලු අකුසල් නොකිරීමද, කුසල් රැස් කිරීමද, තමාගේ සිත පිරිසිදු කිරීමද යන මෙය සියලු බුදුවරයන්ගේ අනුශාසනයයි.
6.(184) ඉවසීම නම් වූ ක්ෂාන්තිය උතුම්ම තපසයි. බුදුවරයෝ නිවන පරම උතුම් යැයි කියති. පරහට හිංසා කරන්නා පැවිද්දෙක් නොවේ, පරහට පීඩා කරන්නා මහණෙක් නොවේ.
7.(185) ගර්හා නොකිරීමද, හිංසා නොකිරීමද, ප්රාතිමෝක්ෂ සංවර ශීලයෙහි සංවරයද, ආහාරයෙහි පමණ දන්නා බවද, විවේකී සේනාසනයන්හි ඇල්මද, අධිචිත්ත භාවනාවෙහි යෙදීමද යන මෙය බුදුවරයන්ගේ අනුශාසනයයි.
8.(186) කහවණු වැස්සකින් වුවද කාමයන්හි තෘප්තියක් නැත. කාමයෝ අල්ප ආශ්වාද ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, නුවණැති පණ්ඩිතයා මෙසේ දැන,
9.(187) හෙතෙම දිව්යමය කාමයන්හි පවා ඇල්මකට පත් නොවේ. ඒ සම්මා සම්බුද්ධ ශ්රාවක තෙම තෘෂ්ණාව ක්ෂය කිරීමෙහි ඇලුනේ වෙයි.
10.(188) භයෙන් තැතිගත් බොහෝ මිනිස්සු පර්වතයන්ද, වනයන්ද, ආරාම, වෘක්ෂ සහ චෛත්යයන්ද සරණ යන්නාහ.
11.(189) මේ සරණය ක්ෂේමදායක නොවේ, මේ සරණය උත්තම නොවේ. මේ සරණයට පැමිණීමෙන් සියලු දුකින් නිදහස් නොවේ.