13. ලොක වර්ගය
1.(167) හීනවූ (රූපාදී කාමගුණ) ධර්මයන් සේවනය නොකරන්නේය. ප්රමාදය හා එක්ව නොවසන්නේය. මිථ්යාදෘෂ්ටියද සේවනය නොකරන්නේය. ලොව වඩන්නෙක් නොවන්නේය.
2.(168) ගෙපිළිවෙළින් පිඩු සිඟීමෙහි නොපමා වන්නේය. ඒ සුචරිත ධර්මය සකස්කොට කරන්නේය. ධර්මයෙහි හැසිරෙන මහණතෙම මෙලොව්හිද පරලොව්හිද සුවසේ වසන්නේය.
3.(169) සුචරිත ධර්මය මනාකොට පුරන්නේය. දුශ්චරිත ධර්මය නපුරුකොට නොපුරන්නේය. ධර්මයෙහි හැසිරෙන මහණතෙම මෙලොව්හිද පරලොව්හිද සුවසේ වසන්නේය.
4.(170) දිය බුබුලක් යම්සේ බලාද මිරිඟු යම්සේ බලාද එපරිද්දෙන්ම ලෝකය (නුවණැසින්) බලන මහණහු මරණ රජතෙම නොදක්නේය.
5.(171) විසිතුරුවූ රාජ රථයක් වැනිවූ මේ ලෝකය එවු, බලවු. යමක අඥානයෝ ගැලෙද්ද, නුවණැත්තවුන්ට එහි ඇලීමෙක් නැත.
6.(172) යම් පුද්ගලයෙක් පෙර ප්රමාදව පසුව නොපමාවේද ඒ පුද්ගලතෙම වළාපටලයකින් මිදුනාවූ පූර්ණචන්ද්රයා මෙන් මේ ලෝකය ඥානාලෝකයෙන් බබුලුවන්නේය.
7.(173) යම් පුද්ගලයක්හු විසින් කරණලද අකුශල කර්මය කුශලයෙන් මුවාවූයේද ඒ පුද්ගලතෙම වළාපටලකින් මිදුණු සඳ මෙන් මේ ලෝකය බබුලුවන්නේය.
8.(174) මේ ලෞකික මහජන තෙමේ අන්ධවූයේය. මෙහි ස්වල්පවූ සත්වයෙක් (අනිත්යාදී වශයෙන්) දක්නේය. දැලින් මිදුණු වටුවෙකු මෙන් ස්වල්පවූ සත්වයෙක්ම ස්වර්ගයට යන්නේය.
9.(175) හංසයෝ සූර්යය මාර්ගයෙහි යෙති. යොගීහු සෘද්ධියෙන් ආකාශයෙහි යෙති, ප්රාඥයෝ සේනාව සහිතවූ මාරයා පරදවා ලෝකයෙන් නික්මෙති.
10.(176) එකම (වාක්සත්ය) ධර්මය ඉක්මවූ, බොරු කියන සුලුවූ පරලොව අතහැර දැමූ සත්වයා විසින් නොකටහැකි අකුශලයෙක් නැත.