12. ආත්ම වර්ගය
1.(157) ඉදින් ආත්මය තමහට ප්‍රියයයි දන්නේ නම් ඒ ආත්මය (තුන්වයස්හි) සුරක්ෂිත කොට රක්නේය. ප්‍රාඥතෙම තුන්වයසින් එක්තරා වයසක (අකුසලින් දුරුකොට ආත්මය රකින්නේය.)
2.(158) පළමුකොට තමාම සුදුසු ගුණයෙක්හි පිහිටුවන්නේය. අනතුරුව අනිකක්හට අනුශාසනා කරන්නේය. එබඳු ප්‍රාඥතෙම නොකෙලෙසෙන්නේය.
3.(159) අනිකෙකුහට යම්සේ අනුශාසනා කෙරේද? තමාටද ඉදින් එසේම කරන්නේය. ඒකාන්තයෙන් තෙමේ මනාව දමනය කරන්නේය. තෙමේ නම් දමනයට දුෂ්කරමය.
4.(160) තෙමේම තමහට පිහිටවන්නේය. අන්‍යවූ කවරෙක් නම් පිහිට වන්නේද? මනාකොට දැමුනාවූ තමා විසින් (පරම) දුර්ලභවූ (අර්හත් ඵලයයි කියන ලද) ප්‍රතිෂ්ඨාව (පිහිට) ලබන්නේය.
5.(161) තමා කෙරෙන්ම (ජනිතවූ) උපන්, තමා කෙරෙන්ම හටගත්, තමා විසින්ම කරණ ලද්දාවූ අකුශල කර්මය තෙම පාෂාණමයවූ මැණික (කඩ කඩ කරණ) විදුර මෙන් ඒ අඥානයා මඬනේය.
6.(162) යමෙකුගේ බොහෝවූ දුශ්ශීල භාවය සල්රුකක් වැළඳගෙණ සිටි මාලුවා වැලක මෙන් ඒ දුශ්ශීලයා වැළඳගෙණ සිටියේ වේද ඒ තමාගේ සතුරාට යම්සේ අනර්ථයක් කරනු කැමති වේද, ඒ (දුශ්ශීල) තෙමේද තමහට එසේම (අනර්ථව) කරන්නේය.
7.(163) යම් කර්මකෙනෙක් සාවද්‍ය හෙයින් අසාධූහු (අයහපත්) ද, අපායට පමුණුවන් හෙයින් තමහට අභිතයෝද (එබඳු අකුශලයෝ) සුවසේ කටහැක්කාහ. යම් කර්මයක් (සුගතියට පමුණුවන හෙයින්) තමහට හිතද (නිරවද්‍ය බැවින්) සාධු (යහපත්) ද ඒ කුශල කර්මය අතිශයින් දුෂ්කර (නොකටහැකි) යි.
8.(164) යම් (අඥාන) පුද්ගලයෙක් ලාමකවූ දෘෂ්ටිය නිසා නිකෙලෙස්වූ දැහැමින් ජීවත්වන සුළුවූ (බුද්ධාදී) ආර්යයන්ගේ අනුශාසනාව වළකාද උන ගසේ පීදීම මෙන් ආත්ම වධය පිණිස නිපදනේය.
9.(165) තමා විසින් අකුශල කර්මයක් කරණ ලද්දේ නම් තෙමේම් කෙලෙසෙන්නේය (හෙවත් තැවෙන්නේය.) තමා විසින් අකුශල කර්මයක් නොකරණ ලද්දේ නම් තෙමේම ශුද්ධ වන්නේය. ශුද්ධියද, අශුද්ධියයද තම තමන්ටමය. අනිකෙක් අනිකෙකු ශුද්ධකරන්නේ නොවේ.
10.(166) බොහෝවූ පරාර්ථයෙන් ආත්මාර්ථයෙහි නොපිරිහෙලන්නේය. ආත්මාර්ථය මේයයි දැන ස්වාර්ථයෙහි (සිය වැඩෙහි) යුක්තවන්නේය.
අත්තවග්ගො ද්වාදසමො.
13. ලොක වර්ගය
1.(167) හීනවූ (රූපාදී කාමගුණ) ධර්මයන් සේවනය නොකරන්නේය. ප්‍රමාදය හා එක්ව නොවසන්නේය. මිථ්‍යාදෘෂ්ටියද සේවනය නොකරන්නේය. ලොව වඩන්නෙක් නොවන්නේය.
2.(168) ගෙපිළිවෙළින් පිඩු සිඟීමෙහි නොපමා වන්නේය. ඒ සුචරිත ධර්මය සකස්කොට කරන්නේය. ධර්මයෙහි හැසිරෙන මහණතෙම මෙලොව්හිද පරලොව්හිද සුවසේ වසන්නේය.