4. 4 සිඟාල මාතා පදානය
82. “මින් (පෙර) සියක් දහස්වන කපෙහි සියළු ධර්‍මයන්හි පරතෙරට ගිය, ලෝකනායකවූ පදුමුත්තර නම් බුදුරජතෙමේ ලොව පහළවිය.
83. “එකල්හි මම හංසවතී නගරයෙහි සමෘද්‍ධිවූ, සම්පත්තීන් පිරුණාවූ, නන්රුවනින් බබලන ලද මහත් ධන ඇති ඇමති කුලයෙහි උපන්නී වෙමි.
84. “මහජනයා විසින් පෙරටු කරන ලද්දී, පියා සමග ගොස් බුදුරජාණන් වහන්සේගේ ධර්‍මය අසා අනගාර්‍ය්‍ය නම්වු සසුනෙහි පැවිදිවීමි.
85. “පැවිදිව කයින් පව්කම් දුරු කෙළෙමි. වාග් දුෂ්චරිතය හැර ආජීවය පිරිසිදු කෙළෙමි.
86. “බුදුරජුන් කෙරෙහි පැහැදුනා, ධර්‍මය කෙරෙහිද, සඞ්ඝයා කෙරෙහිද, දැඩි ගෞරව ඇත්තී, සදහම් ඇසුමෙහි යෙදුනා, බුදුරජුන් දැකුමෙහි ලොල්වූවා,
87. “එකල්හි භික්‍ෂුණියක් බැසගත් සැදැහැ ඇත්තියන් අතුරෙන් අග්‍රයයි ඇසීමි. එම තනතුර පතා ත්‍රිශික්‍ෂාවන් පිරීමි. ඉක්බිති කරුණාව අනුව ගිය සිත් ඇති තථාගත තෙමේ මට මෙසේ වදාළ සේක.
“යමෙකුගේ ශ්‍රද්‍ධා තොමෝ තථාගතයන් කෙරෙහි නිශ්චලව මැනවින් පිහිටියාද, “යමෙකුගේ යහපත්වූ ආර්‍ය්‍යයන් විසින් කැමතිවන ලද්දාවූ, පසසන ලද්දාවූ ශීලයද,
සඞ්ඝයා කෙරෙහි ප්‍රසාදයද, (එසේම) ඎජුවූ දෘෂ්ටියද ඇත්තේ නම් හේ දිළින්දෙක් නොවේ” යයි කීහු. ඔහුගේ ජීවිතය නොසිස්ය.
90. “එහෙයින් නුවණැත්තේ, බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය සිහි කෙරෙමින් ශ්‍රද්‍ධාවෙහිද, ශීලයෙහිද, ප්‍රසාදයෙහිද, ධර්‍ම දර්‍ශනයෙහිද, යෙදෙන්නේය.”
91. “එය අසා ප්‍රමුදිතවූ මම මාගේ ප්‍රාර්ත්‍ථනය ගැන විචාළෙමි. එකල්හි අලාමකවූ, අපමණ ගුණ ඇති තථාගත තෙම (මෙසේ) වදාළසේක.
92. “බුදුරජුන් කෙරෙහි පැහැදුනාවූ කලණ තැනැත්තිය, (තී) මේ මැනවින් පතන ලද්ද ලබන්නෙහිය. මින් මතු සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේය.
93. “උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදීවූ, ඖරස (බුද්‍ධපුත්‍රී) වූ, ධර්මයෙන් නිර්මිත කරන ලද්දාක් වැනිවූ, “සිඟාල මාතා” නම් ශාස්තෘ ශ්‍රාවිකාවක් වන්නේය.”
94. “එකල්හි එය අසා ප්‍රමුදිතව, ලෝකනායකවූ බුදුරජුන්හට මෙත් සිතින් ප්‍රතිපත්තීන් කරණකොටගෙන පරිවරණය කෙළෙමි.
95. “මැනවින් කරන ලද එම කර්‍මය කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දේව්ලොවට ගියෙමි.
96. “දැන් මේ අන්තිම භවයෙහි, උතුම්වූ ගිරිව්‍රජ නගරයෙහි, සමෘද්‍ධවූ බොහෝ රත්න සමූහ ඇති සිටු කුලයෙහි උපන්නී,
97. “නොමගෙහි ඇළුනාවූ, මිථ්‍යාදෘෂ්ටිගතුවන්ගෙන් ආකුල පක්‍ෂයෙහිවූ, දිශාවන් පිදීමෙහි නියැලිවූ, මාගේ සිඟාලක නම් පුත්‍රයෙක් විය.
98. “නගරයට පිඬු පිණිස වඩින්නාවූ බුදුරජතෙම නොයෙක් දිශාවන්ට නමස්කාර කරන්නාවූ ඔහු දැක මාර්‍ගයෙහි සිට අවවාද කළ සේක.
99. “දහම් දෙසන්නාවූ උන්වහන්සේගේ බ්‍රහ්ම ස්වරය විය. විස්මයද විය. දෙකෙළක් ස්ත්‍රී පුරුෂයන්හට ධර්මාභිසමයද විය.
100. “එකල්හි මම (එම) පිරිස වෙත ගොස් බුද්‍ධ දේශනාව අසා සෝවාන් ඵලයට පැමිණියා, අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.