4. 5 සුක්කාපදානය
1214. “මින් පෙර එක් අනූවන කපෙහි මනොඥවූ ඇස් ඇති සියළු ධර්‍මයන් විශිෂ්ඨ ලෙස දක්නාවූ විපස්සී නම් බුදුරජතෙම ලොව පහළවිය.
1215. “එකල්හි මම බන්ධුමතී නගරයෙහි එක්තරා කුලයෙක උපන්නී බුදුරජාණන් වහන්සේගේ ධර්‍මය අසා අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.
1216. “බහුශ්‍රුතවූ, ධර්මධරවූ, වැටහෙන නුවණ ඇත්තාවූ, එසේම විචිත්‍ර කථිකවූ බුදුසසුන කරන්නියක් වීමි.
1217. “එකල්හි ජන සමූහයාට හිතවූ බොහෝ දහම් කථාකොට ඉන් චුතවූ මම යසස් ඇත්තී තුෂිත පුරයෙහි උපන්නී වෙමි.
1218. “මින් එක්තිස්වන කපෙහි යසසින් ලෙව්හි දිලිසෙන්නාවූ, කථාකරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨවූ, ගින්නක් මෙන් (බබලන්නා)වූ සිඛී බුදුරජතෙම ලොව පහළ විය.
1219. “එකල්හිදු පැවිදිව බුදුසසුන්හි දක්‍ෂවූවා බුදුවදන් බබුලුවා එයිනුදු චුතව දෙව්ලොවට ගියා,
1220. “මින් එක්තිස්වන කපෙහි මහ නුවණැති වෙස්සභූ නම් බුදුරජතෙම ලොව පහළ විය. එකල්හිදු එසේම මම,
1221. “පැවිදිව ධර්මධරවූවා බුදුසසුන බැබලවීමි. රම්‍යවූ දිව්‍යපුරයට ගොස් මහත් සැපද අනුභව කෙළෙමි.
1222. “මෙම භද්‍ර කල්පයෙහි නරශ්‍රේෂ්ඨවූ කකුසඳ නම් බුදුරජතෙම ලොව පහළ විය. එකල්හිදු එසේම මම,
1223. “පැවිදිව දිවි ඇතිතාක් සර්‍වඥ මතය හොබවා ඉන් චුතව මම සිය විමනට යන්නාක් මෙන් දෙව්ලොවට ගියෙමි.
1224. “මෙම කල්පයෙහි ලොවට පිළිසරණවූ, අමෘතය අවබෝධ කළාවූ, (කාමයන්හි) නොඇළුනාවූ කෝණාගමන බුදුරජතෙම ලොව පහළ විය.
1225. “එකල්හිදු තාදී ගුණ ඇති උන්වහන්සේගේ සසුනෙහි පැවිදිව බහුශ්‍රුතවූවා, ධර්මධරවූවා, බුදුසසුන බැබලවීමි.
1226. “මේ කල්පයෙහිම පුරුෂෝත්තම වූ, ලොවට ඇසක් වැනි වූ, කෙලෙස් රහිත වූ, මරණයේ කෙළවරට (නිවනට) පැමිණි කස්සප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක.
1227. “එම බුදුරජාණන් වහන්සේගේද සසුනෙහි පැවිදිව, ප්‍රගුණ කරන ලද සදහම් ඇත්තී, නොදත් දේ ඇසීමෙහි දක්‍ෂවූවා,
1228. “මනා සිල් ඇත්තී, (පවට) ලජ්ජා ඇත්තී, ත්‍රිශික්‍ෂාවන්හි දක්‍ෂවූවා මහා මුනීන් වහන්ස, දිවි ඇතිතාක් බොහෝ ධර්‍ම කථා කොට
1229. “මැනවින් කරන ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත පුණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට ගියෙමි.