3. 7 භද්දා කාපිලානි අපදානය
882. “මින් (පෙර) සියක් දහස්වන කපෙහි කෙළෙස් සතුරන් දිනූ, සියළු දහම්හි විනිවිද (දක්නාසුළු) නුවණැස් ඇති පදුමුත්තර බුදුරජතෙම ලොව පහළ විය.
883. “එකල්හි හංසවතී නගරයෙහි, සමෘද්‍ධවූ රත්නයන් ඇති, නම්න් “විදෙහ” නම්වූ සිටුවරයෙක් විය. මම ඔහුගේ භාර්‍ය්‍යාව වීමි.
884. “කිසියම් දිනෙක්හි ඒ සිටුතෙමේ පිරිවර ජනයා සහිත බුදුරජුන් වෙත එළඹ සියළු දුක් හා බිය දුරුකරන්නාවූ තථාගතයන් වහන්සේගේ ධර්‍මය ඇසීය.
885. “ලෝකනායකතෙමේ ශ්‍රාවකයෙකු ධුතවාදීන් අතුරෙන් අග්‍රයයි පැසසූහ. (එය) අසා තාදී ගුණ ඇති බුදුරජාණන් වහන්සේට සතියක් මුළුල්ලෙහි දන් දී,
886. “(සිටුතෙමේද) හිසින් පා මුල වැටී එම තනතුර පැතීය. එම බුදුරජතෙමේ එකල්හි පිරිස සතුටු කරමින්,
887. “සිටුහට අනුකම්පා පිණිස මෙම ගාථාවන් වදාළ සේක. “පුතණුවෙනි, සැනසෙනු මැනව. පතන ලද තනතුර ලබන්නෙහිය.
888. “මින්මතු සියක් දහස්වන කපෙහි, ඔක්කාක වංශයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේය.
889. “උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදීවූ, ධර්‍මයෙහි නිර්මිත කරන ලද්දාක් වැනිවූ, ඖරස (බුද්ධ) පුත්‍රවූ, නම්න් කාශ්‍යප නම්වූ බුද්‍ධශ්‍රාවකයෙක් වන්නෙහිය.
890. “එකල්හි එය අසා ප්‍රමුදිතව විනායකවූ බුදුරජාණන් වහන්සේට මෙත් සිත් ඇත්තේ (සිව්) පසයෙන් උවැටැන් කෙළේය.
891. “එම බුදුරජතෙමේ මිසදිටු තිර්ත්‍ථකයන් මැඩ, සසුන බබුළුවා, විනෙය ජනයන් හික්මවා ශ්‍රාවකයන් සහිතවූයේ පිරිනිවන් පෑහ.
892. “එම බුදුරජුන් පිරිනිවි කල්හි ශාස්තෲන් වහන්සේට පුදනු පිණිස නෑ-මිතුරන් කැඳවා ඔවුන් සමග (එය) කරවීය.
893. “උසින් සත් යොදුන් ඇති, රුවන්මුවාවූ හිරු මෙන් දිලිසෙන්නාවූ, පිපී ගිය රුකක් වැනිවූ සෑයක් (කළේය).
894. “එහි සත් ලක්‍ෂයක් පාත්‍රයන් කරවීය. සත්රුවන් කරණකොටගෙන බටවලට ඇවිලගත් ගින්නක් මෙන් බබලත්.
895. “එම පාත්‍රයන්හි සව්සත්නට අනුකම්පාව ඇති බුදුරජාණන් වහන්සේට පුද පිණිස සුවඳ තෙලින් පුරවා පහන් දැල්විය.
896. “බුදුරජාණන් වහන්සේට පුද පිණිස රුවණින්ම පිරුණු සත් ලක්‍ෂයක් පුන්කුඹු කරවීය.
897. “කුඹු අට අට (අතුරින්) මැද ඔසවන ලද රන් ඇගෑවෝ සරා කල්හිවූ හිරු මෙන් වර්‍ණයෙන් අතිශයින් බබලත්.
898. “සිව් දොරටුවෙහි රුවන්මුවා තොරන්හු බබලත්. ඔසවන ලද රම්‍යවූ රුවන්මුවා පුවරු හොබිත්.
899. “පරික්‍ෂිප්තවූ, සුනිර්මිත අවතංසයෝ (හිස මල් වඩම්) බබලති. ඔසවන ලද ස්වර්‍ණ පතාකයෝද දිලිසෙති.
900. “මැනවින් කරන ලද්දාවූ, ඉතා රතුවූ, රුවන්මුවාවූ මෙම සෑය වර්‍ණයෙන් සැඳෑ හිරු මෙන් අතිශයින් බබලයි.