3. 8 යසොධරාපදානං
952. එක් සමයෙක්හි රම්‍යවූ, සමෘද්‍ධවූ රජගහ නගරයෙහි එක් උතුම් ගිරි ගුහාවක බුදුරජුන් වැඩ වෙසෙන කල්හි
953. එම නගරයෙහි මනරම්වූ භික්‍ෂුණී අසපුවක වෙසෙන යසොධරා නම් භික්‍ෂුණියට මෙබඳු විතර්‍කයක් ඇතිවිය;
954. “නන්ද තෙමේද, රාහුලභද්‍ර තෙමේද, අග්‍රශ්‍රාවකයෝද, එසේම සුදොවුන් මහරජ තෙමේද, ප්‍රජාපතී ගෞතමී තොමෝද,
955. ප්‍රසිද්ධවූ මහතෙරවරුද, මහත් ඎද්‍ධි ඇති ස්ථවිරාවෝද, යන ආශ්‍රව රහිත ඔවුහු පහන් සිළු මෙන් නිවනට ගියාහුම වූහ.
956. “බුදුරජුන් වැඩ සිටි කල්හිම මමද ශාන්ති පදයට යන්නෙමි” යි සිතා තමාගේ ආයුෂ බලන්නී,
957. එදවස්හිම ක්‍ෂයට ගියාවූ ආයු සංස්කාරය දැක, පා සිවුරු ගෙන ගිය අසපුවෙන් නික්ම.
958. පන්සියයක් භික්‍ෂුණීන් විසින් පිරිවරන ලදුව, මහත් ඎද්‍ධි ඇත්තී, මහත් ප්‍රඥා ඇත්තී බුදුරජුන් වෙත එළඹියාය.
959. සම්බුදුරජුන් වැඳ, ශාස්තෘන් වහන්සේගේ සක් ලකුණු යුත් සිරිපා මුල එකත් පසෙක හුන්නී, මෙම වචනය කීවාය:
960. “අට සැත්තෑ හැවිරිදි වයස් ඇත්තී වෙමි. අන්තිම වයස පවතී. සිරුර කුදු ගැසෙන පබ්භාර නම් අවස්ථාවට පැමිණියා වෙමි. මහා මුනීන් වහන්ස, (මෙය ඔබ වහන්සේට) සැළ කරමි.
961. පරිපක්කවූ වයස් ඇත්තී වෙමි. මාගේ ජීවිතය ස්වල්පය. ඔබ හැර දමා යන්නෙමි. මාගේ පිහිට මා විසින්ම කරන ලදී.
962. අන්තිම කාලයෙහි වයස වනාහි මරණය තෙමේ වළක්වයි. මහා වීරයන් වහන්ස, අද රාත්‍රියෙහි පරිනිර්‍වාණයට පැමිණෙන්නෙමි.
963. මුනීන්‍ද්‍රයන් වහන්ස, ජාති-ජරා-ව්‍යාධි-මරණ යම් තැනෙක්හි නැද්ද, ඒ අජරාමරවූ යම් තැනක ගිය තැනැත්තා නොපෙනේද මම එතැනට යන්නෙමි.
964. යම්තාක් පිරිස වෙත් නම් ශාස්තෲන් වහන්සේගේ සමීපයට එළඹෙත්. ඉදින් මාගේ වරදක් ඇත්නම්, මුනීන්‍ද්‍රයන් වහන්ස, සම්මුඛයෙහි ක්‍ෂමා කරන සේක්වා.
965. ඉදින් සසරෙහි සැරිසරාද, ඔබ කෙරෙහි මාගේ වරදක් වේ නම් මහා වීරයන් වහන්ස, එය ආරෝචනය කරමි. මාගේ වරදට ක්‍ෂමා වේවා.”
966. ඇයගේ වචනය අසා මුනීන්‍ද්‍ර තෙම මෙය වදාළ සේක. “නිවණට යාමට ඔබට මින් මතු කුමක් කියම්ද?
967. මාගේ සසුන කරන තැනැත්තිය, ඎද්‍ධියද දක්වනු මැනව. සියළු පිරිසගේ සසුන කෙරෙහිවු සැක සිඳිනු මැනව.
968. ඒ යසෝධරා භික්‍ෂුණී තොමෝ බුදුරජුන්ගේ ඒ වචනය අසා එම බුදුරජුන් වැඳ මෙම වචනය කීවාය:
969. “වීරයන් වහන්ස, ගිහිගෙයිදී ඔබ වහන්සේගේ බිරිඳවූ, ශාක්‍ය කුලයෙහි උපන්නාවූ, සත්‍රී අඞ්ගයෙහි පිහිටියාවූ යසෝධරා තොමෝ මම වෙමි.
970. ගිහිගෙයි ඔබ වහන්සේගේ එක් ලක්ෂ අනූහය දහසක් ස්ත්‍රීන් අතුරෙන්, වීරයන් වහන්ස, මම සියල්ලනට අධිපතිවූ, ප්‍රමුඛ තැනැත්තිය (වීමි.)
971. රූපාචාර ගුණයන්ගෙන් යුක්තවූ, යෞවන බැව්හි සිටියාවූ, ප්‍රිය වචන කියන්නාවූ, මිනිස් දෙව් දූවරුන් වැනි සියල්ලෝ මට ගරු කෙරෙත්.
972. ශාක්‍ය පුත්‍රයන්ගේ මැදුරෙහි කන්‍යාවන් දහසකට ප්‍රධානවූ, සැප දුක් දෙක්හි සමානව වසන්නාවූ, නඳුනුයනෙහි ඒ දෙව් දුවක වැනිවූ,
973. කාම ධාතුව ඉක්මවූ, රූප ධාතුවෙහි සිටියාවූ (මට) ලෝකනායක බුදුරජුන් හැර රූපයෙන් සමානවු අනිකෙක් නැත.”
974. මේ ආදිය කියා යසෝධරා තොමෝ බුදුරජුන්ගේ අනුදැනීමෙන් අහසට නැඟී නොයෙක් ඎද්‍ධීන් දැක්වූය.