4. සකුලාපදානය
131. “මින් (පෙර) සියක් දහස්වන කපෙහි පස්මරුන් දිනූ, සියළු දහම්හි පරතෙරට ගිය පදුමුත්තර නම් බුදුරජතෙම ලොව පහළවිය.
132. “දෙවියන් සහිත ලෝකයෙහි සව්සත්නට වැඩ පිණිසද පිළිපන්නාවූ, කථා කරන්නවුන් අතුරෙන් උතුම්වූ, පුරුෂ ශ්රේෂ්ඨවූ,
133. “යසසින් අගතැන් පත්වූ, ශ්රීමත්වූ, කීර්තිවර්ණයන් උසුලන්නාවූ, සියළු ලෝවැස්සන් විසින් පුදන ලද්දීවූ, සව් දිගුන්හි ප්රකටවූ, කෙළෙස් සතුරන් දිනූ,
134. “තරණය කළ විචිකිච්ඡා ඇති, ඉක්මවූ සැක ඇති, සම්පූර්ණවූ මනො සඞ්කල්ප ඇති හෙතෙම උතුම්වු සම්යක් සම්බෝධියට පැමිණි සේක.
135. “නොඋපන් මග උපදවන්නාවූ තථාගත තෙම නොදෙසන ලද්දක් දෙසූහ. නොඋපදවන ලද්දක් ඉපදවූහ.
136. “මාර්ගය ගැන අවබෝධය ඇති, මාර්ගය දන්නාවූ, මාර්ගය දේශනා කරන්නාවූ නර ශ්රේෂ්ඨ තෙමේ, මාර්ගයෙහි දක්ෂවූ, නරදම් සැරීන් අතුරෙන් උතුම්වූ, ශාස්තෘවූ,
137. “මාර්ග දේශකවූ මහා කාරුණික තෙමේ එකල්හි දහම් දෙසති. කාම මඩෙහි ගිලුනු සත්ත්වයන් (ඉන්) ගොඩදමති.
138. “එකල්හි මම හංසවතී නගරයෙහි මනා රූ ඇත්තාවූ, ධනවත්වූ, දයාවත්වූ, ශ්රීමත්වූ රජදුවක් වූවා,
139. “ආනන්ද මහරජුගේ අතිශය ශෝභනවූ දුවණියද, පදුමුත්තර නමැත්තහුගේ (පදුමුත්තර බුදුරජුගේ) වෙන මව් දරු සොහොයුරියද වීමි.
140. “මම සව් බරණින් සැරසුනී, රාජ කන්යාවන්ගෙන් යුක්තවූවා, මහා වීර බුදුරජුන් වෙත එළඹ දහම් දෙසුම් ඇසීමි.
141. “එකල්හි එම තථාගත තෙම පිරිස් මැදදී දිවැස් ඇති භික්ෂුණියකට පසසමින් ඇය අග්රස්ථානයෙහි තැබූහ.
142. “මම එය අසා සතුටුවූවා, බුදුරජුන්හට දනක් දී, සම්බුදුරජුන් පුදා, දිවැස පැතීමි.
143. “එකල්හි ශාස්තෘතෙමේ මට (මෙසේ) වදාළ සේක. “නන්දාවෙනි, පතන ලද්ද ලබන්නෙහිය. ප්රදීප-ධර්ම දානයන්ගේ මේ විපාකය මැනවින්ම නිශ්චිතය.
144. “මින් මතු සියක්දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ නම්න් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නේය.
145. “උන්වහන්සේගේ දහම්හි දායාදීවූ, ධර්මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස (බුද්ධ) පුත්රීවූ, නම්න් සකුලා නම්වූ ශාස්තෘ ශ්රාවිකාවක් වන්නෙහිය.”
146. “මැනවින් කරන ලද එම කර්මය කරණ කොට ගෙනද, චිත්තප්රණිධීන් කරණ කොට ගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)
147. “කථා කරන්නවුන් අතරින් ශ්රේෂ්ඨවූ, බ්රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, නම්න් කාශ්යප නම්වූ බුදුරජතෙම ලොව පහළවිය.
148. එකල්හි මම හුදකලාව හැසිරෙන්නාවූ පිරිවැජි ස්ත්රියක් වීමි. පිඬු පිණිස හැසිර තෙල් ටිකක් ලැබීමි.
149. “එම තෙලින් පහනක් දල්වා හැමතින් අහුරුණු බුදුරජාණන් වහන්සේගේ සෑයට පැහැදි සිතින් උවටැන් කෙළෙමි.
150. “මැනවින් කරන ලද එම කර්මය කරණ කොට ගෙනද, චිත්තප්රණිධීන් කරණ කොට ගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)