5. නන්දා ජනපද කල්යාණි අපදානය
166. “මින් (පෙර) සියක් දහස්වන කපෙහි (කෙළෙස් සතුරන්) ජයගත්තාවූ, සියළු දහම්හි පරතෙරෙට ගිය පදුමුත්තර නම් බුදුරජතෙම ලොව පහළවිය.
167. “සව් සත්නට ඔවා දෙන්නාවූ, දහම් අවබෝධ කරවන්නාවූ, (සත්ත්වයන්) සසරින් එතර කරවන්නාවූ, දේශනාවෙහි දක්ෂවූ බුදුරජතෙමේ බොහෝ ජන සමූහයා සසරින් එතර කරවූහ.
168. “සව්සත්නට අනුකම්පා කරන්නාවූ, කාරුණිකවූ, හිත කැමැත්තාවූ (එම බුදුරජතෙම) පැමිණි සියලු තීර්ත්ථකයන් පන්සිල්හි පිහිටවූ සේක.
169. “මෙසේ (එම කාලය) තීර්ත්ථකයන්ගෙන් හිස්වූ, නිරවුල්වූ, තාදී ගුණ ඇති, (පඤ්චවශිතාවන්ගෙන්) වශීභූතවූ, රහතුන්ගෙන් විසිතුරු වූවක් විය.
170. “එම බුදුරජතෙම අටපණස් රියනක් උසය. රන් ඇගෑවක් මෙන් බබලන්නේය. දෙතිස් මහපුරිස් ලකුණු ඇත්තේය.
171. “එකල්හි විසි ලක්ෂයක් ආයුෂ වෙයි. ඒතාක් කල් වැඩහුන්නාවූ මෙම සර්වඥතෙම බොහෝ ජන සමූහයා (සසරින්) එතෙර කළ සේක.
172. “එකල්හි මම හංසවතී නගරයෙහි නන් රුවනින් බබලන, මහත් සැපතින් යුත් සිටු කුලයක උපන්නී වීමි.
173. “එම මහාවීරවූ බුදුරජුන් වෙත එළඹ අමෘතවූ, උතුම් අස්වැසිලි දෙනසුළුවූ, පරමාර්ත්ථය මේයයි දන්වන්නාවූ දම් දෙසුම් ඇසීමි.
174. “එකල්හි සංඝයා සහිත බුදුරජුන් පවරා පැවිදි සිත් ඇත්තී, සියතින් උන්වහන්සේට මහදන් දී,
175. “සංඝයා සහිත ලෝකනායකවූ බුදුරජුන් පාමුල සිරසින් වැටී, ධ්යාන කරන්නාවූ භික්ෂුණීන් අතුරින් අග තනතුර පැතීමි.
176. “එකල්හි නොදැමුනවුන් දමනය කරන්නාවූ, තුන් ලොවට පිහිටවූ, (දුක් නැතිකිරීමෙහි) සමත්වූ, නර ශ්රේෂ්ඨවූ තථාගත තෙම, “ඒ මැනවින් පතන ලද්ද ලබන්නෙහිය” යි පැවසූ සේක.
177. “මින් මතු සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නාහ.
178. “උන්වහන්සේගේ ධර්මයෙහි දායාදිවූ, ධර්මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස (බුද්ධ) පුත්රී වූ, නම්න් “නන්දා” නම් ශාස්තෘ ශ්රාවිකාවක් වන්නෙහිය.”
179. “එකල්හි එය අසා ප්රමුදිතව, දිවි ඇතිතාක් විනායකවූ බුදුරජුන්හට මෙත් සිත් ඇත්තී (සිව්) පසයෙන් පරිවරණය කෙළෙමි.
180. “මැනවින් කරණ ලද එම කර්මය කරණකොටගෙනද, චිත්ත ප්රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)
181. “මම ඉන් චුතවූවා යාම දෙව්ලොවට ගියෙමි. ඉන් තුෂිත දෙව්ලොවට ගියා, එතැනින් නිර්මාණරතියටද, ඉන් (චුතව) වශවර්ති (දිව්ය) පුරයටද (උත්පත්ති වශයෙන්) ගියෙමි.
182. “එම කර්මයාගේ බලයෙන් යම් යම් තැනක උපදිම් නම් ඒ ඒ තන්හි රජවරුන්ගේ මෙහෙසිබව කෙළෙමි.
183. “ඉන් චුතව මිනිසත් බැව්හි සක්විති රජවරුන්ගේද, මණ්ඩලීක රජවරුන්ගේද මෙහෙසිබව කෙළෙමි.
184. “දෙව් මිනිස් දෙගතියෙහි සම්පත් අනුභවකොට හැමතන්හි සුව ඇත්තීව බොහෝ කල්පයන්හි සැරිසැරීමි.
185. “අන්තිම භවය පැමිණි කල්හි මම අතිමනොඥ කපිළවස්තු නගරයෙහි සුදේධාදන රජුගේ නොගරහන ලද්දාවූ දියණියක් වීමි.
186. “සිරිකත වැනිවූ රුවැති (මා) දැක එම කුලය ප්රීතිමත් වූයේ විය. එහෙයින් මාගේ නම සුන්දර යන උප පදය සහිත ‘නන්දා” (සුන්දර නන්දා) නම් විය.
187. “එම රම්යවූ නගරයෙහි යසෝධරාව හැර සකල යෞවනියන් අතුරෙහි කල්යාණීයයිද ප්රකටවූවා,
188. “(මාගේ) දෙටු සහෝදර තෙමේ තිලෝගුරු බුදුරජුය. එසේම බාල සහෝදර තෙමේද රහතෙකි. මම හුදකලාවූ ගිහිගෙහි වසන තැනැත්තියක්මි. මා විසින් (මෙසේ) මෙහෙයන ලද්දී වෙමි.
189. “දුවණියෙනි, තී ශාක්ය කුලයෙහි උපන්නී, බුදුරජුගේ සොහොයුරිය වෙහිය. නන්ද කුමරුවන්ගෙනුදු වෙන්වූවා, කිම ගිහිගෙහි වසන්නෙහිද?