3. ධම්මදින්නාපදානය
95. “මින් (පෙර) සියක් දහස්වන කපෙහි ලෝක නායකවූ, සියළු ධර්‍මයන්හි පරතෙරෙට ගිය පදුමුත්තර නම් බුදුරජතෙම ලොව පහළවිය.
96. “එකල්හි මම හංසවතී නගරයෙහි එක්තරා කුලයක පැණවත්වූ, සිල්වත්වූ අනුන්ගේ කටයුතු කරන්නියක් වීමි.
97. “පදුමුත්තර බුදුරජුන්ගේ සුජාත නම් අගසව් තෙමේ විහාරයෙන් නික්ම පිඬු පිණිස යයි.
98. “එකල්හි දිය අදින්නියක්වූ (මම) කළයක් ගෙන යන්නී, උන්වහන්සේ දැක පහන්වූවා, සියතින් කැවුමක් දුනිමි.
99. “ඒ තෙමේ එහිම වැඩහුන්නේ වැළඳීය. එතැනින් හේ ගෙට පමුණුවා උන්වහන්සේට බොජුන් පිළිගැන්වීමි.
100. “ඉක්බිති මාගේ ස්වාමි තෙමේ (මා) ස්වකීය යෙහෙලිය කළේය. නැන්දනිය සමග ගොස් සම්බුදුරජුන් වැන්දෙමි.
101. “එකල්හි එම බුදුරජතෙම ධර්‍මකථිකවූ භික්‍ෂුණියක් පසසමින් එතදග්‍රස්ථානයෙහි තැබූහ. එය අසා සතුටුවූ මම,
102. “සංඝයා සහිතවූ ලෝක නායක බුදුරජුන් පවරා මහ දන්දී එම තනතුර පැතීමි.
103. “ඉක්බිති මේඝ නාදයකට බඳු මිහිරි ස්වර ඇති බුදුරජතෙම මට මෙසේ වදාළ සේක. “මාගේ උවටැනෙහි නිරතවූ සඞ්ඝයා සහිතව (මා) වළඳවන්නාවූ,
104. “සදහම් ඇසුමෙහි යෙදුනාවූ, ගුණ වැඩිදියුණු කළ සිත් ඇති, සොඳුරුවූ තැනැත්තියත ප්‍රමුදිත වන්න. පැතුමෙහි විපාකය ලබන්නෙහිය.
105. “මින් මතු සියක්දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ නම්න් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නේය.
106. “උන්වහන්සේගේ දහම්හි දායාදීවූ, ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස (බුද්‍ධ) පුත්‍රීවූ, නම්න් “ධම්මදින්නා” නම්වූ බුද්ධ ශ්‍රාවිකාවක් වන්නෙහිය.”
107. “එය අසා සතුටුව එකල්හි දිවි ඇතිතාක් මෙත් සිත් ඇත්තී (සිව්)පසයෙන් පස්මරුන් දිනූ බුදුරජුන්හට පරිවරණය කෙළෙමි.
108. “මැනවින් කරන ලද එම කර්‍මය කරණ කොට ගෙනද, චිත්තප්‍රණිධීන් කරණ කොට ගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)
110. “කථා කරන්නවුන් අතරින් ශ්‍රේෂ්ඨවූ, බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, නම්න් කාශ්‍යප නම්වූ බුදුරජතෙම ලොව පහළවිය.
එකල්හි බරණැස් නමැති උතුම් නුවර කිකී නම් කාසි රජතෙම මහේසීන් වහන්සේගේ උපස්ථායක විය.
111. “එම රජුගේ ‘සුධම්මා’ නම්න් ප්‍රකටවූ සවැනි දුව වීමි. උතුම්වූ බුදුරජාණන් වහන්සේගේ ධර්‍මය අසා පැවිද්ද රුචි කෙළෙමි.