3. 2 කිසා ගෝතමී අපදානය.
693. “මින් (පෙර) සියක් දහස්වන කපෙහි ලෝකනායකවූ, සියළු ධර්මයන්හි පරතෙරට ගිය පදුමුත්තර නම් බුදුරජතෙම ලොව පහලවිය.
694. “එකල්හි මම හංසවතී නගරයෙහි එක්තරා කුල ගෙයක උපන්නී, තථාගතයන් වෙත් එළඹ උන්වහන්සේ සරණකොට ගියෙමි.
695. “මිහිරිවූ, උත්තම ආස්වාදයවූ, සසර දුක සන්සිඳීමේ සුවය එළවන්නාවූ, චතුස්සත්යයෙන් යුක්තවූ උන්වහන්සේගේ ධර්මයද ඇසීමි.
696. “එකල්හි පුරුෂෝත්තමවූ (සර්වඥ) වීර තෙමේ රූක්ෂ චීවරධාරීවූ භික්ෂුණියක් එතදග්රස්ථානයෙහි තබමින් වර්ණනය කළ සේක.
697. “භික්ෂුණියගේ ගුණය අසා අපමණ ප්රීතිය උපදවා බුදුරජුන්හට ශක්තියවූ පරිද්දෙන්, බලයවූ පරිද්දෙන් සත්කාරකොට,
698. “එම බුදුරජුන් (පාමුල) වැටී එකී තනතුර පැතීමි. (ලෝක)නායකවූ බුදුරජතෙමේ එකල්හි (මතු එම) තනතුර ලැබීමේ හේතුවෙන් අනුමෙවෙනි බණ දෙසූහ.
699. “මින් (මතු) සියක් දහස්වන කපෙහි ඔක්කාක වංශයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළ වන්නේය.
700. “(තී) උන්වහන්සේගේ දහම්හි දායාදීවූ, ධර්මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස බුද්ධපුත්රීවූ, නම්න් ගෞතමී නම්වූ ශාස්තෘ ශ්රාවිකාවක් වන්නෙහිය.”
701. “එය අසා සතුටුව, එකල්හි දිවි ඇතිතාක් මෙත් සිත් ඇත්තී, (සිව්) පසයෙන් පස්මරුන් දිනූ බුදුරජුන්හට පරිවරණය කෙළෙමි.
702. “මැනවින් කරන ලද එම කර්මය කරණ කොට ගෙනද, චිත්තප්රණිධීන් කරණ කොට ගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)
703. “කථා කරන්නවුන් අතරින් ශ්රේෂ්ඨවූ, බ්රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, නම්න් කාශ්යප නම්වූ බුදුරජතෙම ලොව පහළවිය.
704. “එකල්හි උතුම්වූ බාරාණසී නගරයෙහි මිනිසුනට අධිපතිවූ “කිකී” නම් කසීරජතෙමේ මහර්ෂීවූ බුදුරජුන්ගේ උපස්ථායකයා විය.
705. “එම රජුගේ ‘ධම්මා’ නම්න් ප්රකටවූ පස්වෙනි දුව වීමි. උතුම්වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා පැවිද්ද රුචි කෙළෙමි.
706. “පිය රජ තෙම අපට නොඅනුදත්තේය. එහෙයින් අපි ගිහිගෙහිම විසි දහසක් අවුරුදු උදාසීන නොවී හැසුරුණෙමු.
707. “සුවසේ වැඩුනාවූ, බුදේධාපස්ථානයෙහි ඇළුනාවූ, ප්රමුදිතවූ රාජ කන්යාවන්වූ (අපි) සත්දෙන කුමරි බඹසරෙහි හැසිරුනෙමු.
708. “(එම සත්දෙන නම්) සමණීද, සමණ ගුත්තාද, භික්ඛුණීද, භික්ඛුදායිකාද, ධම්මාද, සුධම්මාද, සත්වැනිවූ සංඝ දාසියද,
709. “(එම සත්දෙන පිළිවෙළින්) ඛෙමාවද, උප්පලවණ්ණාවද, පටාචාරාවද, කුණ්ඩලාවද, මමද, ධම්මදින්නාවද, සත්වැනිවූ විශාඛාවද වේ.
710. “මැනවින් කරන ලද එම කර්මය කරණ කොට ගෙනද, චිත්තප්රණිධීන් කරණ කොට ගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)
711. “දැන් මේ අන්තිම භවයෙහි මම දුගීවූ, ධනය නැත්තාවූ, නටුවාවූ සිටු කුලයක උපන්නී, ධනවත් කුලයකට ගියාය.
712. “ස්වාමියා හැර සෙස්සෝ මට ධන නැත්තියයයි කියත්. යම් කලෙක්හි (මම) පුතෙකු සහිත වූයෙම් නම් එකල්හි සියල්ලන්ගේ දයාව ඇත්තියක් වීමි.